Wednesday, May 30, 2012

මේඝ මැද


ඇට්ටේරියා මල් සුවඳක් තුරුළු කරගත් මඳ පවන් රොදක් සිරියහන් ගබඩාවේ වරින් වර සක්මන් කරයි. කවුළුව අතරින් පෙරී එන සඳ එළියද සිහිලැල්ය.නිශාන්තයේ සුන්දර නිහඬතාවයේ ගිලී සිටින මට ඇසෙන්නේ ඔහුගේ සුසුම් වල රිද්මය පමණි. ඒ සවිමත් උරතලයේ උණුහුමින් රාත්‍රියේ හිරිගඩු පිපෙන සීතල මා කෙරෙන් පළා ගොස්ය. සෙමෙන් දෙනෙත විවර කර මම ඔහු දෙස බලමි. ඒ දෙනුවන් තවමත් විවරය.මුවග දැවටී ඇති මන්දස්මිතයේ ඡායාව සඳ එළියෙන් මා හට මනාව දිස් වේ.


"උදුලා, නිදි නැතිද?" ඒ හඬ මා සවනතට මිහිරකි.


"ඔබතුමාත් තවමත් අවදියෙන්"


"ඒ ඔබ නිසා, ඔබේ ආරක්ෂාවට." මා මුවගට හස‍රැල්ලක් එක් වේ.එවැනි වදන් මම හොඳින් හඳුනමි. ඒ සම්පූර්ණ සත්‍යය නොවේ. හුදෙක් මා සිත ප්‍රමුදිත කරනුවස් , ඔහුගේ සිතෙහි ඉපිද මුවින් ගිලිහෙන ප්‍රේමණීය වදන්ය.


"ආරක්ෂාවට රජ සෙබලුන් සතර දිශාවේම. ඉතින් ඔබතුමා අවදියෙන් සිට කුමක් කරන්නද?"


"ඔවුන් සිටින්නේ මගේ ආරක්ෂාවට. මා සිටින්නේ ඔබේ ආරක්ෂාවට........." ඔහුගේ දෑඟිලි මා සවන් පත් කිති කවයි. මම තවත් ඒ උණුසුමට තුරුල් වෙමි.


"එය නම් සැබෑවක්. නමුත් අද නම් ඔබ තුමා අවදියෙන් සිටින්නේ ඒ නිසාම පමණක් නොවේ."


"නො එසේනම්?"


"ඒ ඔබතුමා අද වෙනදාට වඩා සතුටින් නිසා"


"උදුලා ට හදිසියේම එසේ සිතුණේ?"


"හදිසියේම පහල වූ සිතිවිල්ලක් නොවේ මහරජතුමණි,මේ සිරියහන් ගබඩාවට පා තැබූ මොහොතේ පටන්මයි මා හට එය අවබෝධ වුණේ."


"ඒ කෙලෙසින්ද?" සයනයෙන් මදක් ඉහලට එසවුණු ඔහු මා දෙස බලා සිටියි.


"ඔබතුමාගේ සෑම සුසුම් පොදක්ම මා හොඳින් හඳුනනවා....... රාජකීය වීණා වාදකයා ලවා ඔබතුමා වාදනය කරවන සෑම ස්වරයක්ම මා හඳුනනවා.......... ඔබතුමාට ඇසෙනවාද, දැන් වාදනය වන රාගය? එය ඔබතුමා ප්‍රීතියෙන් පිනා ගොස් සිටින බවට හොඳම සාක්ෂියයි ඒ.


නැවතත් ඒ මුවග මදහසකි.දෙනෙත් කාන්තියෙන් දැල්වේ.
"ඔබ හරි උදුලා. ඔබට හිතන්නට පුළුවන්ද ඒ සඳහා හේතුව?"


"මා සිතන්නේ මා ඒ සඳහා හේතුවත් දන්නවා......"
සිරියහනෙන් බැස මම කවුළුව අසලට පිය මනිමි. සුදු සඳ එළිය දැල්වී ඈත අනන්තය තෙක් දිවෙන වන ගැබ රිදී පැහැයෙන් සුදිලේ. ලෝකය එක යායට ඇද හැලෙන රජත වන් ගංගාවක් සේය. තැනින් තැන දැල්වෙන පන්දම් ආලෝකයෙන් උද්‍යානය අලෝකමත් වී ඇත. අහසට විසිරෙන වතුර මල්, සිසි කිරණ හා එක් වී කෝල කරන්නේ අපූරු දසුනක් මවමිනි. 
ඔහුගේ සුසුමක පහස මට නැවතත් දැනෙයි. ඒ ඝණ ‍රැවුළ මගේ සවන් පත් නැවතත් කිති කවයි. 
සළුවෙහි කොණක් ගෙන මම හිස වසා ගනිමි.


"ඉතින් උදුලා, ඔබ තවමත් ඒ සඳහා හේතුව කීවේ නැහැ." ඔහු නැවතත් හිස වැසූ සළු පට ඉවත් කරයි.


"ඊට හේතුව ඇත්තේ රජතුමණි මේ මාලිගයට පහලින්...."


"රජ මාලිගයට පහළින්?"


"ඔව් රජතුමනි, මේ පර්වත මස්ථකයේ සිට බඹ ගණනාවක් පහළින්."


"ඔබගේ ඇතැම් බස් මට වටහා ගැනීමට අපහසු තරමට ව්‍යක්තයි උදුලා"


"ඔබතුමාගේ සිතැඟි පරිදි බිතු සිතුවම් ගණනාවක් මේ රජ මාලිග පවුව වටා සිතුවම් කර අවසන් වූ අද දින ඔබතුමා සතුටින් සිටින බැව් පවසන්න වෙසෙස් නුවණක් අවශ්‍ය නැත මහ රජතුමණි."


"ඔබ හරි උදුලා... බොහෝ කාලයක සිට මගේ සිතේ තිබුණු ආශාවක් එය. ඔබ නම් ඒ සිතුවම් වලට එතරම් මනාපයක් නැති බවයි මුල සිටම මට හැඟී ගියේ..."


"නොමනාපය නොවේ රජතුමණි, එහෙත් කිසියම් ඊර්ශ්‍යාවක් වැනි හැඟීමකින් මගේ සිත පෙළුණු අවස්ථා නැතුවාම නොවේ. ඔබතුමා මටත් වඩා ඒ සිතුවම් වලට, ඒ ලලනාවන්ට ප්‍රේම කරනවදැයි හැගීමක් මා සිතෙහි උපදියි."


මගෙ පිළිතුර බොලඳ වැඩි යයිද නො එසේනම් නුසුදුසු යයිද මා හට හැඟීමක් නැත. එහි ගැබ් වූයේ හුදෙක් ඒ සිතුවම් පිළිබඳව මා සිත තුළ ඇති වූ සත්‍ය හැඟීමය. වරෙක රන් වන් පැහැයෙන්ද, තවත් වරෙක අඳුරු පැහැයෙන්ද වර්ණ ගන්වා ඇති ලඳුන් සැබැවින්ම අලංකාරය. රාජකීය සිත්තරුන් ලවා මාගේ මහ රජතුමා විසින් සිතුවම් කරවන ලද එම රූප මාලිගය පුරා බොහෝ කතා බහට ලක්වූ කරුණක් විය. අන්ත:පුරය පුරාම තරමක නොපහන් හැඟීම් ජනිත කළ එම සිතුවම් මා හට නම් සිහිපත් කරන්නේ මාගේ නිරිඳාගේ කලා කාමී ආදරණීය සිතය්.


"උදුලා, යමෙක් ස්ත්‍රියකට දක්වන ප්‍රේමය සහ කලා කෘතියකට දක්වන ඇල්ම සමාන යයි ඔබ සිතන්නේ කෙලෙසින් ද?" මේ තේජස් වී කටහඬට ද මම මේ රුවට ඇළුම් කරන්නාක් හා සමානවම ඇළුම් කරමි.


"ඔබ තුමා ඒ සිතුවම් වලින් පිළිබිඹු කළේ මාලිගය සැරසීමට මල් ‍රැගෙන එන ස්ත්‍රීන්ව ද?"


"ඔබට එවැනි අදහසක් පහළ වූයේ කෙලෙසද උදුලා?"


"ඔබතුමා ඒ මල් ගෙන එන ළඳුන් දෙස නොයෙක් වර බලා සිටිනවා මා දැක තිබෙනවා"


"මා බලා සිටින්නේ ඔවුන් දෙස නොවේ උදුලා. ඒ දැත් වලින් මැවෙන අලංකාර මල් රටා දෙසයි."


තව දුරටත් සිත්තම් වල සිටින්නේ කවරෙක් දැයි ඇසීමට මගේ සිතට ශක්තියක් නැත. ඔහු මගේ රටේ රජතුමා ය. මා පිළිබඳව කොතරම් ප්‍රේමයකින් වෙලී සිටියත්, මගෙන් පසුව කිසිදු යුවතියක අන්ත:පුරයට කැඳවාගෙන නාවත් , මා ඔහුගේ අන්ත:පුර මෙහෙසියක පමණක් වෙමි. 


එහෙත් අන් සියල්ලන්ටම වඩා ,ඇතැම් විටෙක අගමෙහෙසියට ද වඩා , ඔහු මා හට පානා සෙනෙහස මගේ හුස්ම වැටෙනා තුරු මට ප්‍රමාණවත්ය.
මේ උණුසුම් දෙඅත් මැද මම ජීවිතය විඳිමි.


පහන් තිර නිවී යාමට ආසන්නය. රාත්‍රිය තව දිගුය. එහෙත් සඳ එළියෙන් නැහැවුණු සිරියහන් ගැබට වෙනත් පහන් ඇවසි නැත. ඔහුගේ නෙත් පහන් දෙකෙහි කාන්තිය මා හට ප්‍රමාණවත්ය.





(සිඳු සටහන් තබයි.....
බොහෝ කාලයක් තිස්සේ සිතේ තිබුණු ආශාවක් ඓතිහාසික චරිතයක් අලලා යම් කිසි නිර්මාණයක් කිරීම. මේ ඒ සඳහා ගත් පුංචි උත්සාහයක්. 
පවසන්නට තවත් බොහෝ දේ උදුලා හට ඇති. ඒ සඳහා තවත් දිනයක ඈ පැමිණේවි.......)

Friday, May 11, 2012

අකුරු නැතිව කියවමු !


මතකද මේ මාතෘකාවෙන් පාඩමක් තිබුණා පොඩි කාලෙ සිංහල පොතක? 


මේ නම් ඊට වඩා වෙනස් කතාවක්. මේ තියෙන්නෙ අපේ ගෙදර පිපිලා තිබුණ රෝස මලකට දවස් 5ක් හෝ 6ක් ඇතුළත වුණ දේ. 


මොකද හිතෙන්නෙ? ඒ ගැන මම අකුරෙන් ලියන්න ඕනෙ නෑ නේද?











-සිඳු-

Tuesday, May 1, 2012

සිහගිරි


පසුගිය දිනෙක සිහගිරි බලකොටුව අරා ඇවිද යාමට අවකාශයක් ලැබුනේ, වැළලී ගිය ඒ අතීත කතාවේ නටබුන් අතර සිත දිව ගියේය. කාශ්යටප රජ තම අණින් තම පියාගේ දිවි තොර කළේ යයි ඉතිහාසය අපට පවසයි.. සියලු සැප සපිරි ආලකමන්දාවේ සුව වින්දත් ඔහුගේ සිත ඒ පාප කර්මය ගැන වැලපෙන්නට නැතිද?  සිතින් පසුතැවෙන්නට නැතිද? ඒ සිත් අරගලය සීගිරි බිම පුරා මට මැවී පෙනුනෙන් ලියන්නට සිතුවෙමි කුරුටු ගීයක් ඔහු නමින්!


වියලුණු වා තලය ගිනිගෙන දැවෙනු වගේ
නිහඬව සුසුම් ලයි තුරුපෙල ගිනි සුළ‍ඟේ
වනපෙත මැදින් දිවෙනා වැලි අතුල මගේ
සුදු වැලි පවා සැඟවී ඉකි බිඳිනු වගේ


පාවඩ ඇතිරුවත් නැත බිම සුව සිසිල
මිරිවැඩි සඟල පැලඳූවත් නොමැත ඵල
කාශ්යැප නිරිඳු සිත තුල නැත සැනසිල්ල
නිරුවත් දෙපා මුල පෑගෙයි දුහුවිල්ල


සෙන්පති ඇමැති පිරිවර නිහඬයි තවම
නිරිඳුන් පා තබයි බලමින් නෙතින් බිම
දිය මල් පොකුණු උයනේ විසිතුරු මහිම
නිරිඳුගෙ නෙතට නොම පෙනෙනා අරුම කිම?


මහ දිය අගල ගැඹුරුයි නිහඬව නිදන
කිඹුලන් බියකරුයි දිය යට රජ කරන
ඇතුළු නුවර සුරැකියි මැණිකක් ලෙසින
කරුණ කිමද නිරිඳුගෙ හදවත පෙලන


කැටපත් පවුර කැටපත විලසින් දිස්වේ
නිරිඳුගෙ සිතේ චංචල බව එහිද මැවේ
බිතු සිතුවමේ බබලන අඟනන්ගෙ රුවේ
අඩුවක් දැනේ මෙතුවක් කල් නැති දුටුවේ


තුන් සිංහලේ බුහුමන් ලත් සිංහ රුව
සුවිසල් නෙතින් සිතිජය බලමින් තනිව
සිටිනා ලෙසින් නිරිඳුන් සෙල‘සුන් බරව
වෙහෙස නිවයි හිස් බවකිය පුරා මුව


අන්තඃපුරේ බිසවුන් වෙත නොමැත සිත
අබරණ රස බොජුන් රජ සැප පිරිය නැත
සීගිරි මුදුනෙ රජ මැදුරේ මධුර විත
අද නොම සොයයි නිරිඳුන් බිඳිලාද සිත


රැකවල් යොදා ඇතිමුත් සිහගිරි නුවර
නිරිඳුගෙ සිතට නොදැනේ රැකවල් පවුර
තම පියතුම මරා රජකම ගෙන පැහැර
අනතර පවකි කරගත්තේ මත රුහිර


තැනුනත් මල් උයන් මන්දිර පොකුණු වටේ
නැගුනත් සිගිරි බලකොටුවේ වරුණ රටේ
තම පියතුමගේ නෙත් යුග සිහි මැවෙන විටේ
නිරිඳුගෙ හදින් උණු කඳුලැලි ගලා වැටේ


පරුවත් මුදුනේ පොකුණේ තෙර අසුන සදා
පියතුම පිළිරුවක් ඉදිවුනි මලින් පුදා
හිමි බණ පදය නිරිඳුන් සිහි ගෙන රන්දා
දණ බිම ඔබා බුදු හිමි, පියතුම වැන්දා


                         ---
ඩයිනමයික් (DynaMic)


http://bentotaanuratours.com/heritage%20visit/sigiriya.html

Sunday, April 22, 2012

සැවෝයි සහ කුඩය


මෙන්න ආයෙත් පුංචි හිනා කතාවක්....( කාට නැතත් මට නම් හිනා යනවා. )


පහුගිය දවසක මම යාලුවො දෙන්නෙක් එක්ක මොර‍ටුව බස් එකකට නැග්ගා කො‍ටුවෙන් බම්බලපිටිය පැත්තෙ පොඩි රවුමක් ගහන්න...... මම තනියම සීට් එකක. යාලුවො දෙන්නා මට පිටිපස්සෙ සීට් එකේ.


(සේරටම කලින් කියන්න ඕනා මේ යාලුවො දෙන්නම එක වගේම ටියුබ් ලයිට් දෙකක්. එක්කෙනෙක් ටිකක් වැඩිපුර ටියුබ් ලයිට්. එයා තමයි ලු පොඩි කාලෙ මීගමුවෙන් හලාවත පැත්තට යන බස් එකක නැගලා "දැන් මීගමුවට ලඟයිද කියලා අහුවෙත් මුළු බස් එකටම ඇහෙන්න. )


ඔන්න ආයෙත් කතාවට........


බස් එකට නැග්ගා කියලා කිවුවා නේද? ඔවු,  බස් එකට නැග්ගා කියලා නම් මටත් හොඳට මතකයි... හෝල්ට් එකක් දෙකක් පහු වුණාත් මතකයි.


 ඊට පස්සෙ රස්ටපොපුලස් එක්ක කරාටේ ගහගෙන ටින් ටින් ව මම බේරාගෙන එනවාත් මතකයි හොඳටම....මොකක්??? ටින් ටින්ව බේර ගත්තා.? මම ටින් ටින් එකේ හිටියා මතක නෑනෙ.


 ආ.... නෑ මේකනේ වෙලා තියෙන්නෙ.මේ දවස්වල දවල්ට තියන සෞම්‍ය  කාලගුණයටද මන්දා මට සීට් එකේ නින්ද ගිහින් , ඒ වලාවෙ දැකපු හීනෙ පොඩි කෑල්ලක් තමයි ඒ. (කොච්චර සෞම්‍යද කියනවා නම් ඉර මගෙ සීට් එකේම වාඩි වෙලා කරටත් අත දාගෙන ඉන්නවා වගේ දැනුනෙ...) 


ටින් ටින් ව බේරාගත්ත සතුටට ස්නෝවි මගෙ ඇඟට පනින්න හදනකොටම මට ඇහැරුණා. ( ස්නෝවි සුදු වුණත් බල්ලෙක්නෙ. එහෙම ඇඟට පනිනවා ඉවසන්න පුළුවන්ද) 


එක පාරටම මේ ලෝකෙට එන්නත් අමාරුයිනෙ, ටිකක් එහාට මෙහාට හැරිලා බලනකොට මගෙ යාලුවො දෙන්න සුපුරුදු විදියට ලොකූ කතාවක.  මම වීදුරුවෙන් එලිය බැලුවා.


ආ....... දැකලා පුරුදු පාලමක් පහු වුණා. පොලිස් මුරපොලකුත් එතන තිබුණා. නිදිමතේ වුණත් මතක් වුණා ඒ වැල්ලවත්ත කියලා. එහෙම වෙන්න බෑනෙ, අපි ගියෙ බම්බලපිටියටනෙ. මම හිතුවා. ඔන්න එතකොටම සැවෝයි එකත් පහු වුණා. මලා!!! මට නින්ද ගිහින් තිබුණ වෙලාවෙ අපි බම්බලපිටිය පහු කරගෙන ඇවිල්ලා. මගෙ යාලුවො දෙන්නට ගානක් වත් නෑ. හිටිය විදියටම ලොකූ කතාවක.

"අන්න සැවෝයි.........." මම කෑගැහුවා ඒ දෙන්නට විතරක් ඇහෙන්න. මගෙ යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් ඒ දිහා බැලුවෙ මම වැල්ලවත්තෙ දි ලිබර්ටි ප්‍රතිමාව පෙන්නුවා වගේ කටත් ඇරගෙන. අනිත් එක්කෙනා මා දිහා බැලුවෙ කවදවත් මුහුද දැකලා නැති කෙනෙක් "අන්න මුහුද" කියලා මුහුද අයිනෙ ජීවත් වෙන කෙනෙක් ට පෙන්නුවා වගේ. 
"ආනේ සැවෝයි එකෙත් කුස පබා තියනවා......" කට ඇරෙගෙන ඒ දිහා බැලුව යාලුවා කිවුවා.


අනේ ඇත්තට මේ මිනිස්සුන්ට මම කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි. 
"මනුස්සයෝ සැවෝයි තියෙන්නෙ වැල්ලවත්තෙ. "
 ඔන්න එතකොට තමයි ඒ දෙන්නට තේරුනේ මම මොනාද එච්චර වෙලා කියන්න හැදුවෙ කියලා. දෙන්නම මටත් කලින් කොන්දොස්තර කොලුවාවත් පේරලාගෙනයි බැස්සෙ. 
ඔන්න ඊලඟට එක්කෙනෙක් නහයෙන් අඬනවා.. 
" අනේ අව්වයි, මාව කලු වෙනවා"
ඊලඟට අනිත් යාලුවාගෙ වාරෙ. "ඉන්න මම කුඩේ ඉහලන්නම්"




එහෙම කිවුවට මොකද, අතේවත් බෑග් එකකවත් කුඩයක් නම් තිබුනෙ නැ. 
"අයියෝ මගෙ කුඩේ බස් එකේ දාලා බැහැලා, ඔයා තමයි මාව කලබල කළේ."
ඉතින් බලන්නකො,ඒකත් මගෙ වරද වෙලා. කුඩ නැති කරගෙන වාර්තාවක් තියලා තියන එක්කෙනා ඒකෙත් වැ‍රැද්ද මට දානවා. 
"ඒක අම්මාගෙ කුඩේ, නැති කරගන්නෙ නෑ කියලා දහ අතේ ඩිවුරුම් දීලා තමයි මම ඒක ඉල්ලන් ආවෙ. ගිය සතියෙ මගෙ කුඩේ නැති වුණානෙ." 
"ඔයා ඉතින් ඉස්සර ඉඳන්ම කුඩයක් වැඩිම වුණොත් පාවිච්චි කරන්නෙ මාසයයිනෙ. " 


ඒ කතාව එහෙම ඉවර වුණත් කුඩ වලින් මගෙ යාලුවා ට තියන අපලෙ නම් ඉවර වුණේ නෑ. එදා නැති කරපු කුඩේ ගැන අම්මගෙන් බැනුම් අහපු මගෙ යාලුවා , ඊලඟ සතියෙ ගත්තු කුඩේ කැම්පස් එකේ දාලා ඇවිත් අම්මාගෙන් ආයෙම බැනුම් අහගෙන තිබුණා. දරුවන්ගෙ අත් වැරදීම් අම්මලා කොච්චර ඉවසුවත්, හැමදාම එකම දේ වෙනකොට කොහොමද අම්මා කෙනෙක් වුණත් ඉවසන්නෙ....;-)


ඒ මොනවා වුණත් අන්තිමේදි ළමයා ටිකක් හැදිලා තියනවා කියලා තේරුණේ මට ගිය සතියෙ. පොඩි ගමනක් යන්න බස් එකට නැගුණ අපි දෙන්නා නියමිත ස්ථානයෙන් එදා වගේ නොවී බැහැගත්තා. අපි දෙන්නා බැස්සාම කොන්ද්ස්තර බෙල් එක ගැහුවා.ඒත් බස් එක අද්දන්න හැදුවා විතරයි මගෙ යාලුවා ඉස්සරහාට පැනලා "හෝව් හෝව්" කියලා කෑගැහුවෙ හරියට හරකෙක් එලවන කරත්ත කාරයෙක් වගේ. (උපමාව හරි නැද්ද මන්දා) 
කොන්දොස්තරත් බස් එක නවත්තාගත්ත. 


"ඇයි මිස්?" කියලා කොන්දොස්තරත්, "මොකද අනේ?" කියලා මම ඇහුවෙත් එක පාරටම.
"මගෙ කුඩේ... ඒක බස් එක ඇතුලෙ" එහෙම කියන ගමන් මගෙ යාළුවා බස් එකට නගින්න හැදුවා.
ඒත් ඒ වෙනකොටත් එයා කුඩයක් ඉහගෙන ඉවරයි බස් එකෙන් බැහැපු ගමන්.... 
"එතකොට මේ මොකද්ද?" 
මම ඇහුවෙ කුඩය පෙන්නන ගමන්. ඒ වෙලාවෙ යාළුවාගෙ මූණෙ ආව පෙනුම දැක්කම නම් එහෙම කිවුව එක ලොකු පවුකාර කමක් කියලා මට හිතුනෙ. කොන්දොස්තර හිනා වෙලා ආයෙමත් බස් එකේ බෙල් එක ගැහුවා................. පවු මගෙ හොඳ යාළුවා. 


(මොනවා වුණත් මගෙ තියන හොඳ කමට ඒක දැනගත්තෙ අපි දෙන්නගෙම ලඟම යාළුවො දෙතුන් දෙනෙක් විතරයි. ලඟම නොවන අයට ඒ ගැන කියලා තිබුණෙ ඒ දෙතුන් දෙනා... මම නෙවෙයි)


-සිඳු-

Saturday, March 31, 2012

සංගීත පන්තිය


ගොඩක් දවසකට පස්සෙ මටත් හිතුනා කතාවක් ලියන්න කියල.. මේක මේ සිඳුට පිළිතුරු මඩක් ගහන්න කරන කූට පෝස්ට් ඒකක් නෙවෙයි ඔන්න.. ඉස්කෝලෙ කාලෙ පුංචි මතකයක්..



පොඩි ඉස්කෝලෙ ඉඳල ලොකු ඉස්කෝලෙට ගිහින් ටික දවසකින් අපි සෞන්දර්ය විෂයයන් තෝරගන්න මහා කඩඉමට ආවා. චිත්‍ර නැටුම් සංගීතෙ ගැන අපි ගොඩක් දේවල් දැනං උන්නෙ නෑ. ඒත් නැටුම් කාමරේ බෙර තියනව කියලත්, සංගීත කාමරේ පියානෝ, බෙර (තබ්ලාවට තමා), ගිටාර් වගේ තව අමුතු අමුතු දේවල් ගොඩක් තියනව කියල දූසමාන ආරංචි ලැබුනා.. චිත්‍ර කාමරේ තියෙන්නෙ මොනවද කියල නං කව්රුත් දැනගෙන හිටියෙ නෑ. මම නං ඉතින් සංගීතෙට එකෙන්ම තනි කකුලෙන් හිටියෙ.. කොහොමත් සංගීතෙට පුළුවන්නෙ මාව හීලෑ කරන්න

දවස ආවා.. සෞන්දර්ය පීරියඩ් එකේ අපි කෙලින්ම දුවගෙන ගියේ සංගීත කාමරේට.. වහපු දොර ලඟට වෙලා වීදුරු අස්සෙන් ඇතුල බැලුවා.. පියානෝ එකක් කාමරේ ඈත කොනක තිබුනා.. මොන්ටිසෝරියෙදි දැකපු පියානෝ එකට පස්සෙ පියානෝ එකක් මගේ ඇස ගැටුනෙ එදා.. මගේ ඉහේ මලක් පිපුනා.. ලොකුම ලොකු කාමරේ බිම පැදුරු දාල, සර්පිනාවක් තබ්ලාවක් තාලම්පොටක් බිම තිබුනාඅපිට ඉවසුමක් නෑ ඇතුලට රිංගනකං.. 

ඔන්න සර් කෙනෙක් ආවා. දොර ඇරියා. ගාල කඩාගත්ත හරක් රැල වගේ, පහුගිය දවසක පොලොවෙන් මැණික් මතුවෙනව කියල පස්වලට පොරකාපු අය වගේ, අපි සර් වත් පෙරලගෙන දුවගෙන ගියා සර්පිනාව ලඟ වාඩිවෙන්න.. මමත් දුවගෙන ගියා කඟවේනාට වැඩිය පොඩ්ඩක් හෙමීට දුවන චීට වඩා ගොඩක් හෙමීට.. මං ඉතිං ඕවට එච්චර දක්ෂ නෑ. මං යනෙකාටසර්පිනාව වටේටම ලමයි වාඩිවෙලාමං පැත්තකින් වාඩි වුනා. හරි.. දැං සංගීතෙ උගන්වනකන් අපි බලාගෙන ඉන්නවා.. සර් කිව්වා මෙහෙම..  

පුතාලගෙ සංගීත පන්තිය කරන්නෙ මම නෙමේ.. ඔයාලගෙ ටීචර් ටික දවසක් නිවාඩු.. එයා එනකං මම තමා පන්තිය කරන්නෙ.. 

කව්රු කලත් මොකද සංගීතෙ උගන්නනවනං කියල අපිට හිතුනා. (ඒ පණ්ඩිතකං කියන්න ගියෙ නෑ)

සර් බෝඩ් එකේ සිංදුවක් ලිව්වා මෙහෙම..

මෙතන තිබුනු කඹේ කව්රු අරං ගියාදෝ //
අන්න අතන අත්තේ ඔන්චිලි බැඳ ඇත්තේ //
මෙතන තිබුනු කඹේ කව්රු අරං ගියාදෝ  (තව තිබුනා)

දෙපාරක් තුන් පාරක් අපිට තාලෙ කියල දීල දිගටම කියන්න කියල සර් ගියා.. අපි එදා පන්තිය ඉවර වෙනකං ඒක කිව්වා.. ඊලඟ දවසෙ එනකොටත් බෝඩ්එකේ ඒ සිංදුවමයි.. අයිය කෙනෙක් ඇවිත් ඒක අපිට කියන්න කිව්වාඑදාත් දවසම ඒක.. දැන් අපිට එපා වේගන ඇවිත්. ඊලග දවසෙවත් ඇත්ත ටීචර් වරේවා කියල හිතාගෙන හෙමීට පන්තියට ආව ගමන් (කවුරුත් දුවගෙන එන්න උත්සහ කලේ නෑ)  බැලුවෙ බෝඩ් එක.. අනේ එදත් ඒ සිංදුවමයිසර් පන්තියෙ හිටියා.. අපිට කියන්න කිව්වා.. තව පුරුදු මදි කියල අයිය කෙනක්ට බාරදීල ආයෙත් ගියා.. චිත්‍ර නැටුම් කරන ලමයි අලුතෙන් ඉගනගත්ත ඒව රහ කරකර කියනවා.. අපි කලේ, රට ගෙවෙනකං යටිමඩි ගහන ගමන්, කට ගෙවෙනකං රට හදනව කියල කෑ ගහන දේසපාලකයො වගෙ ඒ සිංදුවම ආයෙ ආයෙ කියපු එක තමාරෑට හීනෙන් පේන්න ගත්ත අඹ අත්තක කඹයක් එල්ලිලා තියෙනව (ඒ දවස් වල අපි පොඩි නිසා ඒ කඹේ සර්ව එල්ලල ඉන්නව දැක්කෙ නෑ!) අපිට සංගීතෙත් එපා වෙලා තිබ්බෙ.. පියානෝ එක ගාවටවත් අපිට යන්න බෑ. කිසිම සංගීත නාදයක් නෑ.. මේ සිංදුව දිගටම කිය කිය ඉන්නවට වඩා චිත්‍ර සර්ගෙ වේවැල් කසාය හොඳයි කියල හිතුනා..


ඔහොම සති දෙකක් විතර ගෙවිල ගියා.. උදේට ඉස්කෝලෙ එනකොට අපි සංගීත කාමරේ ගාවින් යන් නැතුව පන්තියට යන්න වෙන පාරක් හොයාගත්තා.. සංගීත පන්තියට නොයා චිත්‍ර පන්තියට හරි නැටුම් පන්තියට යන්න හරි අපි උත්සුක වුනා (කැන්ටිමෙයි හිස් ලැබ් එකෙයි හැංගිලා ඕමි ගගහ පීරියඩ් කට් කරන්න අපි පොඩි වැඩියි). දවසක් අපේ පන්තියට අලුත් මිස් කෙනෙක් ආවා.. සංගීතෙ කරන ලමයි අත උස්සන්න! (අපි අහුවෙයි ඕවට..) අපි අත ඉස්සුවෙ නෑ..  

මම තමයි පුතාලට  සංගීතෙ උගන්නන්නෙ.. අද අපි සංගීත පන්ති පටන් ගන්නවා.. සංගීතෙට කැමති අය යන්න සංගීත කාමරේට…  

අපි පොත් අරං දිව්ව එක පිම්මට. කොච්චර උත්සහ කලත් එදත් මට අහු උනේ මුල්ලක්. ටීචර් අපිට සරිගමපදනිස කියන්න කිව්වා… අපි උඩබිම බැලුවා.. මොන සරිගමපදනිස ද? අපි අර සිංදුව නං දන්නව ඇස් විතරක් නෙමේ කන් නාස ඕන එකක් වහගෙන කියන්න තරම්.. අපි එක එක්කෙනා ඉස්සරහට අරං කියන්න කිව්වා.. මිස් සර්පිනාව ගහනවා.. යාලුවො එක එකා ඉස්සරහට ගියා.  

ස… රි…. ග…. ම….  පුතා චිත්‍ර කරන්න ආස නැද්ද? මං කියනවට යන්නකො චිත්‍ර පන්තියට..  
ඊලඟ.. .... .......  ම්.... ඔයා හොඳයි.. අර මුල්ලෙ තියන පියානෝ එක ගාවට ගිහින් වාඩි වෙන්න..  
ඊලඟ... ස..රි.... පුතාගෙ අංග චලන හොඳයි.. පුතා නැටුම් පන්තියට යන්න.. ඊලඟ…  

මේ මගේ වාරෙ.. චිත්‍ර නැටුම් කරන්න මට ආසාවක් තිබ්බෙ නෑ.. කොහොමහරි තේරෙන්න ඕන කියල මං දන්න දහිරිය ඔක්කොම ටික දාලා පුලුවන් හයියෙන් කිව්වා.

සා.. රී.. ගා.. මා.. පා.. ධා… මොකද ළමයො බයවෙලා වගේඔච්චරහයියෙන් බෙරිහන් දෙන්න එපා.. මට කං ඇහෙනවා.. හරි අර පියානෝ එක ගාවට යන්නකො….

මම වර්ල්ඩ් කප් එක දිනපු ඉන්දියන් කාරයෙක් වගේ උජාරුවෙන් සන්තෝසෙන් පියානෝ එක ගාවම ගිහින් වාඩි වෙලා ආදරෙන් ඒ දිලිසෙන පියානෝ පැඩල් අතගෑවා


------------------------------- || -------------------------------

- ඩයිනමයික් (DynaMic)


(කතාවට හින්ද මෙහෙම ලිව්වට ඒ සර් සහ මිස් මං ගොඩාක් ගරු කරන, ගොඩාක් හොඳ හිතවත් ගුරුවරු.. කොහෙදි දැක්කත් අයුබෝවන් කියල මම ඒ ගුරු මව්ට පියාට ආචාර කරනවා!)

පොටෝ එක මෙතනින් - http://www.picturenation.co.uk/view/info/18566/Primary-school-classroom


Wednesday, March 28, 2012

අලුත් තෙල් ජාතියක්


මට හිතුනා අපේ මේ බ්ලොග් එක ටිකක් "මූඩි" වැඩියි කියලා. ඒ නිසා ඒ ගතිය හේදිලා යන්නත් එක්ක ලියන්න හිතුණා පොඩි කතාවක්. මම මේ කියන්න හදන සිදුවීම මගෙ ඇස් දෙකෙන් දැක්කා. ( දැක්කා වගේ තමයි ඉතින්). කොහොම වුණත් මගෙ මතු ආරක්ෂාව තකා, නම් ගම් කපා දාලා ලියන්න තමයි හිතුවෙ.


ඔයාල දන්නවාද දන්නෙ නෑ ඩයිනමයික්ව මාත් එක්ක මේ බ්ලොග් එක ලියන යාළුවා ව. නම කියන එක හරි නෑනෙ ඉතින්. කාට වුණත් ආත්ම ගරුත්වයක් කියලා එකක් තියනවනෙ.


ඩයිනමයික් මේ යාලුවා මම දන්න කාලෙ ඉඳන්ම හරිම ස්වීට්, ටෙඩි බෙයා කෙනෙක් වගේ. (මම හිතන්නෙ කවුරු කවුරුත් දන්නවා ඇති ටෙඩි බෙයාලා කියන්නෙ වලස් පැටවුන්ට කියලා
මොකද දන්නවාද, මෙයා කොන්ඩෙ කපන්නෙ අවුරුද්දකට දෙපාරයි, නැත්නම් එක පාරයි. 






හැබැයි ඉතින් කොන්ඩෙ කැපුවෙ නෑ කියලා මෙයාගෙ කොන්ඩෙ වැවෙන්නෙ අනිත් අයගෙ වගේ පහලට නෙමේ, ගුරුත්වාකර්ෂණයට විරුද්ධව අහස පැත්තට. ඒ නිසා මෙයාගෙ ඇත්ත උසට වඩා අඟල් 5ක් විතර උසට තමයි මෙයාව පේන්නෙත්. ( එතකොට අඩි 6 හමාරත් පනිනවා)


ඉතින් අපේ යාලුවා දවසක් කල්පනා කළා 


"මේක හරියන්නෙ නෑ..... මෙහෙම ගියොත් මාව තවත් උස යනවා...... මේ කොණ්ඩෙට මොකක් හරි කරන්න ඕනා" කියලා.


එහෙම හිතලා මෙයා ගියා සුපිරි වෙළඳ සංකීර්ණයකට. (ඇයි බාබර් සාප්පුවකට ගියෙ නැත්තෙ අහන්න එපා, එයා පුරුදු නැති වැඩ කරන්න හරි බයයි). එහෙම ගිහින් මෙයා රාක්කෙන් රාක්කෙට ගිහින් හොයනවා හොඳ ජෙල් එකක්, කොණ්ඩෙට ගාන්න. ඒත් ඉතින් ඒවාගෙ තියන අමු ද්‍රව්‍ය දැක්කම කොණ්ඩෙට ගාන්න නෙමේ, අතට ගන්නත් බයයි... ගොඩාක් ඒවාගෙ ඇල්කොහොලුත් තියනවා....එයා අමද්‍යපනෙ, ඒ නිසා කොහොමත් හෙයා ජෙල් ගාන්න වෙන්නෙ නෑ කියලා අන්තිමට තීරණය කළා.


ඒත් ඉතින් ප්‍රශ්නය තවමත් එහෙමමයි, කොහොමවත් උත්සාහය අත අරින්න බෑ.try and try, one day you can fly කියලා සුද්දා ත් කිවුවා ලුනෙ.
 ඒ නිසා මෙයා හිතුවා මොකක් හරි තෙල් ජාතියක් වත් ගන්න ඕනා කියලා. එහෙම හිතලා එක එක තෙල් ජාති අතට අරන් බැලුවා. ඔන්න අන්තිමට සිරා තෙල් එකක් හම්බුණා. 






සුවඳේ බෑ........ නිකම් බොන්න හිතෙන සුවඳක් ඒක. වෙළඳ සැලේ ඉන්න ලස්සන නංගිට හිනාවකුත් දාලා, සල්ලි දීලා මෙයා ඒ තෙල් බෝතලෙත් අරන් ගෙදර ගියා. ගිහින් අම්මා ටත් පෙන්නුවා. අම්මාත් ඉතින් හරි සතු‍ටු වුණා,මොකද පුතා ට තරුණ කාලෙ අන්තිම භාගයේදි හරි මනුස්සයෙක් වෙන්න හිතුණ නිසා. 


ඔන්න පහුවදාට එළඹුනා. ඩයිනම... ආ .. නෑ.. නෑ... වැරදුනා... ඔන්න පහුවදාට එළඹුනා. මගෙ යාලුවා උදේ වැඩට යන්න ලෑස්ති වෙලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලලා, තෙල් බෝතලෙන් ටිකක් අරන් අතට හලා ගත්තා.... ඒක ගොඩාක් උකුයි. සුවඳයි.  ඔලුවට දාලා පීරණකොට පුදුම ලස්සනට කොණ්ඩෙ පීරන්න පුළුවන්.


ඔහොම ලස්සනට කොණ්ඩෙ පීරගෙන මෙයා ගියා ඔ‍ෆිස්. ඒත් කවුරුත් එයා දිහා බලන්නෙවත් නෑ, වෙනදා වගේ තමයි. 


අපේ යාලුවාට ටිකක් හිතට හරි නෑ වගේ. කවුරුත් අලුත් වෙනස ගැන තේරුමක් වත් නෑ වගේ ඉන්නවා. ඇයි අප්පා, මේ තරම් ගාණක් දීලා ගත්තු තෙල් බෝතලේ!!! කෝකටත් කියලා මෙයා ගියා ඔ‍ෆිස් එකේ බාත් රූම් එක පැත්තට. 
අනේ.....!!!!! කොණ්ඩෙ පරණ විදියමයි. ඊටත් වඩා උඩට ඉස්සිලාද මන්දා. තරහයි, දුකයි එක්කම එයා ගෙදර ගියා. 


අම්මත් කියනවා "පුතා ඊයෙ ගෙනාව තෙල් එක නම් එච්චර හරි නෑ වගේ, ඔලුවට දාලා පැය කාලෙන් වේලෙනවා ඒක". යාලුවා සද්ද නෑ. 


පහුවදා ඊටත් වඩා තෙල් ගොඩාක් ගාගෙන ගියා ... වැඩක් නෑ...... කලින් ප්‍රතිපලේමයි. 


දාන්න ඕනා කොම්පැණියට නඩුවක්!!! එයා එහෙම හිතනවා. 


ඔ‍ෆිස් ඇරිලා ගෙදර ගිහින් බැලුවා තෙල් බෝතලේ කෝ කියලා. කොම්පැණියට කතා කරලාවත් පැමිණිලි කරන්න ඕනා කියලා හිතලා. වෙනදා ට කණ්ණාඩි මේසෙ උඩ දිළිසි දිළිසි තිබුණ තෙල් බෝතලේ නෑ... 
"කෝ මෙතන තිබුණු බෝතලේ?" එයා නංගිගෙන් ඇහුවෙ තරහෙන්. "ආ... ඒක මම බාත් රූම් එකෙන් ගිහින් තිබ්බා" නංගි ගාණක් නැතුව උත්තර දුන්නා.
"පිස්සුද ඒක බාත් රූම් එකෙන් තිබ්බෙ?"
"එහෙනම් වෙන කොහෙද තියන්නෙ?"
නංගිගෙ පණ්ඩිත කමට හිතෙන් බැන බැන ඩයිනමයික් ගිහින් බාත් රූම් එකේ තියන තෙල් බෝතලේ ගත්තා අතට ඒකෙ අඩංගු ද්‍රව්‍ය මොනවාද බලන්න. මෙන්න තියනවා sodium laureth sulphate, perfume,dimethlconol, lysine HCL,panthenolඑකී නොකී දේවල් ......... 
ඒත් oil කියලා කොහෙවත් නෑනෙ..........


ඔන්න එතකොට තමයි එයා දැක්කෙ ලොකු අකුරෙන් ඒකෙ ගහලා තියනව.....
.
.
.
.
.
.
.


SHAMPOO
කියලා..........


කොහොම හරි ඩයිනමයික් මගේ යාළුවා මාස ගාණකට පස්සෙ නෑවෙ එදා කියලා තමයි අහල පහල ගෙවල් වල උදවිය කතා වෙනවා ඇහුනෙ



Tuesday, March 20, 2012

වීදි කොනක

ඊයෙ පෙරේදා දවසක ගංගාරාමෙ ලඟඳි මම දැක්කා කුඩා දරුවෙක්ව. පාට පාට ඇඳුම් ඇඳ ගත්ත දරුවන්, පාලම දිගේ ඇවිදගෙන ගිය පෙම්වතුන් කලු කණ්ණාඩි දාගෙන ගිටිය විදේශිකයන්, අතර දුඹුරු පාටින් මට මේ දරුවා ව පෙනුනෙ. අපේ සමාජයේ අපේ ඇස නොගැටෙන , ඇස ගැ‍ටුනත් නොදැක්කා වගේ අපි අහක බලාගෙන යන, තවත් එක් සමාජ ස්ථරයක් ඔහු විසින් නියෝජනය කරනවා. ඒ සමාජයෙන් ඔහුව අහකට ගන්න නම් කරන්න පුළුවන් දේ බොහොමයි, නමුත් පැහැදිලිවම ඒක අමාරුයි.



විදුලිය වේගයෙන් කැරකී දිවෙත සක
මඩ නැහැවී යවයි වීදිය පුරා නෙක
ඒ මඩ පහර මවනා රළු රටා දැක
කඳුලක් මතු වීද නුඹෙ දෙනුවනෙහි සැක

උපනත් වීදි කොන මුල්ලක වැටී වැදී
පිතු සෙනෙහසක් නැත පුතු නාමයට පිදී
ලේ සම් වියැකිලා සැකිලක රුව පෑදී
පා ගෙවුනේද ගමනේ දිවි බරින් රිදී

රසමසවුලු තබා දන් බත් පතක් නැත
සා පවසින් මළත් දිය උගුරකුත් නැත
මන්දිර වල ඉඳුල් ලඟ ලත වෙවී හිත
පණ පෙවුනේ දිවිය කෙලෙසද සැකක් ඇත

සවනත වැකෙන රළු බස් ඉවසනවාද
අහිමිව සෙනෙහසක් සිත වැලපෙනවාද
දෙකොපුල් තෙමන කඳුලැලි නොම වියලීද
මවුපියො සොයා සිත ඉගිලී යනවාද