විඩාවෙන් බරවූ මනසට ඒ නැගෙන්නාවූ සප්ත ස්වර පිනිබිඳු ඉසින්නාක් වැනිය. ඒකාකාරව ගලායන සිතිවිලි සමුදාය මොහොතකට දමනය කරන්නට ඒ බට දඬු කඩට හැකිවන්නේ එහි තිබෙන අපූර්වත්වයක් නිසා නොව එයට සුසුම් පොවන ඔහුගේ දක්ෂතාවය නිසාවෙන්මය. එදිනද මා බස් නැවතුම වෙත පැමිණියේ ඒ සුන්දර වස් දඬු රාවයට කන් දෙමිනි. මා දුටු ඔහු මොහොතකට වැයුම නතර කොට නිතර මදහසින් හැඩවුන දෑසින් බලා සිනහවක් පෑවේය. නැවතත් වැයුම. දින කීපයකට පෙර සිට දක්නට ලැබුන ඒ අපූර්ව චරිතය, වැඩ නිමකර බසයට පැමිණෙන කාගේත් සිත් ගත්තේත්, කිලිටි රෙදි කැබැල්ලට යහමින් කාසි එකතු වූයේත් ඒ වාදනයේ මධුර බව නිසාමද, නැතහොත් ඔහුගෙ මුවින් දිස්වෙන විවේකී නිදහස් බව හා සිනහව නිසාද යන්න මා සිතුවේ වරක් දෙවරක් නොවේ. අප සමග එකදු වදනක් කතා නොකලමුදු ඔහුගේ අභිනයන් ඔහු පිළිබඳව බොහෝ දේ පැවසුවේය.
“අද අළුත් එකක්. ටිකක් අහල ඊලඟ බස් එකේ යමු”
සුනන්ද පැවසුවේය.
“හා...”
මම නැවතත් ඒ අපූර්ව මිනිසා දෙස බැලුවෙමි.
*****
දැනුනු වෙනස නිසා මම ප්රශ්නාර්ථයකින් යුතුවමය බස් නැවතුමට පැමිණියේ.
“මොකද අද උරුවම් බාන්නේ? බටනලාව කෝ?”
සුනන්දගෙන් විමසූයෙමි.
“මං එනකොටත් ඔහොමයි. බටනලාව කැඩිලා. ඔය ලේන්සුව උඩ තියෙන්නේ”
මට දැනුනේ දුකක්ද නැතහොත් අනුකම්පාවක්ද යන්න තෝරා බේරා ගැනීමට නොනැවතී මම ඔහු වෙතට පිය මැන්නෙමි.
“මාමා, බටනලාවට මොකද වුනේ?”
ඔහුගේ මුහුනේ සෑම විටම තිබූ මදහස අතුරුදන්ව ගොස් ඒ වෙනුවට අඳුරු බර වේදනාවක සලකුණු ආරෝපනය විය. මගේ සිතද කණගාටුවකින් පිරී යනු මට දැනුනි. කිසිත් නොදෙඩූ ඔහු ගැයුම නතර කොට බිම බලාගත්තේය.
“උදය, ඔය මනුස්සයට ඉන්න දීපං! ”
මම මද සිනහවක් පා ආපසු හැරුනෙමි. ඔහුද යන්තමින් මදෙස බැලුවේය.
ඊලඟ දින කීපයේ ඔහුගේ මිහිරි තාල අප වෙත ඇසුනේ ගොරහැඩි උරුවම් බෑමක් ලෙසය. කෙමෙන් කෙමෙන් මිනිසුන්ගේ අවධානය ඔහු වෙතින් ගිලිහී ගියේ ඔහු ලෝහ කාසි කිහිපයක් සමග තනි කරමිනි. වෙනස් නොවූයේ ඔහුගේ දෙනෙතේ ඇඳුන විවේකී නිදහස සහ මදහස පමණි.
*****
“අළුත් බටනලාවක් ගන්න”
ඔහුගේ දෙනෙත් කඳුලින් පිරී ගියද සිරිත් පරිදි නිහඬ බව මිස කිසිත් නොදෙඩුවේය.
“උදය උඹ ඔය මිනිස්සුන්ව නරක් කරනවා. කවුද දන්නෙ බොරුවක් කරනවද කියලා? ”
රැස්ව සිටියවුන් මුමුණනු මට ඇසුනි. ඔහුටද ඒ ඇසෙන්නට ඇත. බසයක් පැමිණියෙන් මම ඔහුදෙස බලා බසයට ගොඩ වූයෙමි. ඒ ආගන්තුකයාගේ සුපුරුදු මුහුණ දකින අවසන් දිනය ඒ යැයි මට ඒ මොහොතේ සිතුනේ නැත. එදායින් පසු ඔහු නැවත බස් නැවතුමේ දක්නට නොවීය. නිහඬ හුදකලාව මගහැරුණේ රැස්ව සිටියවුන්ගේ ආගිය තොරතුරු වලින් පමණි. ඔහු වංචාකරුවෙකු බවත් මවිසින් ඔහුගේ වංචාවන්ට අනුබල දුන් බවත් බස් නැවතුමේ කතා බස් වී කෙමෙන් කාලයේ සුළඟට හසුවී අමතක වී ගියේ අපි නැවතත් අපගේ ඒකාකාරී තරඟයට අවතීර්ණ වුනෙමු.
*****
“එන්න යන්න, මං ඔය මනුස්සයව අඳුරනවා.”
මම කඩිනම් කලෙමි. මගේ සිත කුතුහලයෙන් පිරීගොසිනි. ජනාකීර්ණ වීදියේ තැනකින් ඒ වස්දඬු රාවය නැගෙමින් තිබිණි. එහෙත්! ඒ ස්වර නිකුත් වූයේ මා බලාපොරොත්තු වූ දෑසින් නොව පාදයක් අහිමි වූවද ජවසම්පන්නව ප්රබෝධමත්ව සිටි තරුණයෙක් වෙතින්ය. ඔහු වාදනය නවත්වා මදෙස බැලුවේය.
“සමාවෙන්න, මං හිතුවෙ මේ.. නෑ ඒක හරි... ”
මම හැරුණෙමි. බිරිඳ කුතුහලයෙන් යුතුව මවෙත බලමින් සිටියේය. දරුවන්ට ඒ ගැන වැටහීමක් නැත.
“මහත්තය කාවද බැලුවෙ? ”
“නෑ. මට පොඩි වැරදීමක් වුනා. ඔය තනුව මට පුරුදුයි. මං හිතුවෙ ඒ මාමා කියලා”
“මේ උදය මහත්තයද? ”
මගේ දෑස් විවර වූයේ හදගැස්ම වේගවත් කරමින්ය. බිරිඳ මගේ අත තදින් අල්ලා ගත්තේය.
“මල්ලි මාව දන්නවද? ”
ඔහු කෘතඥපූර්වක සිනහවකින් මට සංග්රහ කළේය.
“මාමා මට මහත්තය ගැන කියල තියෙනවා. මහත්තය දුන්න සල්ලි වලින් තමා මේ බටනලාව අරං තියෙන්නෙ. මාමාගේ වාදනය ගැන උනන්දු වුන හැමදාම හිනාවුන කීපදෙනා අතර මහත්තයත් හිටිය කීවා. ජීවිතේ අන්තෙටම නැතිවුන මං දන්න හැටියට සිංදුවක් කියල හිඟා කන හැටි දැකල මා ගාව නතර වුනා. මට බටනලාව කියල දුන්නා. ඒ තනු කියල දුන්නා. කවද හරි මහත්තය හම්බුනොත් දෙන්න කියල මේ බටනලාව තියාගෙන හිටියා! ”
ඔහු මා අත තැබූයේ ඒ පැරණි බටනලාවය. මගේ දෑස් කෙමෙන් බොඳවී ගියේය.
“කෝ දැන් මාමා?”
ඔහුගේ දෙනෙත් බිමට බරවුනි. බිරිඳ මගේ අත තවත් තදින් අල්ලා ගනු මට දැනුනි.
*****
--------------- *** ---------------
Photo From: http://farm1.static.flickr.com/59/225868956_8a2cdabe0a.jpg