Wednesday, January 25, 2012

තරු


වෙනදට හතර වටින් ඇහෙන වාහන වල නළා සද්දෙ එදා මට ඇහුනෙ නෑ. බස් එකට විටින් විට ගොඩ වෙන යාචකයින්, වෙළෙන්දන් තබා මගියෙක්වත් එදා මම දැක්කෙ නෑ. ඒ කිසි දෙයක් එයාත් දකින්න නැතුව ඇති. බස් එක තවමත් බස් නැවතුමේ නැවතිලා. මම සීට් එකේ වීදුරුව අයිනෙ. එයා මගෙ ලඟ !!
"තරුමි...." එයාගෙ හඬ ආයෙමත් මගෙ දෙසවන් වල ගැ‍ටුණා. එයාගෙ වචන වලට වඩා දෙයක් ඇස් දෙකෙන් කියනවා... මම පිළිතුරක් නැතිවම ගොලු වෙලා.
"තරුමි"
ඒත් මම නිහඬයි. විනාඩි දෙකක් විතර ගත වුණා.







"තරු....!!" 
මාව තිගැස්සුනා. මුහුණෙ රත් පැහැ විදිලි රෙඛාවක් ලෙල දුන්නා.මගෙ නෙමේ.. එයාගෙ මූණෙ. මගෙ මූණට මොනාද වෙලා තියෙන්නෙ කියලා බලා ගන්න විදියක් මට නෑ. එයාගෙ ඇස් දෙක ඇතුළෙන් පේන මගෙ රූපෙ ඒ තරම් පැහැදිලි නෑ.ඒ ඇස් වල දීප්තියෙන් මාව වැහිලා ගිහින්.

"තරු කියන නම ගැලපෙන්නෙ මට නෙමේ... ඔයාට, ඔයාගෙ තරු කැට දෙකක් වගේ ඇස් දෙකට. " මම එහෙම කිවුවා නෙමේ හිතුවා. ඒ තරු ඇස් තවමත් බලාපොරොත්තු සහගතව දැල්වෙනවා.ඒත් ඇයි කියලාවත් අහන්න මගෙ දිව නැමෙන්නෙ නෑ. හිතේපොදි බැඳගෙන හිටිය බලාපොරොත්තු ගොඩාක් උඩු හුළඟට විසි කරන්න වගේ එයා සුසුමක් හෙලුවා... ඉස්සරහ සීට් එකේ හිටිය මනුස්සයාත් අපි දිහා හැරිලා බැලුවා. මට ඒත් එච්චර ගානක් වුනේ නෑ. එයා නම් මනුස්සයාව දැක්ක්කෙත් නැද්ද කොහෙද...

"ඔයා මං ගැන මොනාද හිතන්නෙ තරු?"

     ආයෙමත් මට තරු කියනවා... කොහොමද මම එයාට තේරුම් කරන්නෙ මම නම දාලා තිබුනෙ එයාට කියලා... එයාගෙ උප්පැන්න සහතිකේ තියන දසුන් කියන නමෙන් හැමෝම එයාට කතා කරද්දි මගෙ හිතෙන් මම එයාට හැමදාමත් කිවුවෙ "තරු" කියලා. ගැන දැනගෙන හිටියෙ මම ඇරුනාම මගෙ හොඳම යාලුවා නිශා විතරයි. ඈත අහසෙ තියන ළං වෙන්න බැරි තරුවක් දිහා බලාගෙන හිටිය කුමුදු මලක් වගේ මම ඔයා දිහා බලාගෙන හිටිය හැටි දන්නෙ මමයි නිශායි විතරමයි......

               එක්කම මගෙ හිත දවසට ඇදිලා ගියා. ඉස්කොලෙ වර්ණ රාත්රියට ඉස්සරවෙලා දවස. මම ඉස්කෝලෙට ගිහින් හරියටම සතියයි. ඉතින් මම මොන වර්ණද...ඒත් ඉස්කෝලෙට ආව දවසෙ ඉඳන්ම මගෙ හොඳම යාලුවා වුණ නිශා මැරීගෙන වැඩ කරද්දි මට මග ඇරලා ඉන්න බැරි වුණා... නිශානි තව කට්ටියක් එක්ක තෑගි පාර්සල් ඔතනවා... මම සහතික වල නම් ලියනවා... එයා අපි ලඟට ආවෙ අතරතුර.

"නිශානි,වැඩ ඉවරද? " එයා ඇහුවෙ හමුදාවෙ අණදෙන නිලධාරියෙක්ගෙ වගේ හඬකින් අපි සේරම කතා වලට ඉහලින් ඇහුණ එයාගෙ හඬට මාව තිගැස්සුනා..ඔලුව උස්සලා මම බැලුවෙ ආඩම්බර කාර කට හඬ කාගෙද කියලා දැනගන්න. ඒත් එයාගෙ මූණ මට පෙනුනෙ නෑ. එයා හිටියෙ නිශා දිහා බලාගෙන.

"තව තෑගි වගයක් තියනවා ඔතන්න. සහතික ටිකකුත් ඉතුරුයි, නිශා උත්තර දුන්නෙ මං දිහා බලන ගමන්

      ඊලඟට එයා මා දිහාවට හැරුණා. එයාගෙ තරු ඇස් දෙක මා දිහා බැලුවා.ඒත් අද වගේ නෙමේ..... තරහක් එක්කම ලොකු ආඩම්බර කමක් ඇස් වල තිබුනා.... "තවම බැරි වුණා ඔය ටික ලියා ගන්න?තවකොච්චර වැඩ ඉතුරුද?තේරෙන්නෙ නැද්ද? තව කීයක් තියනවාද ලියන්න?"

"තව පණහක් විතර..."මගේ කටින් උත්තරයක් පිට වුණා.

"පණහක්? එයාට ඔය ටික ලියන්න හෙට වෙයි. ඕවා ඔහොම තියලා අයින් වෙන්න මම ලියන්නම්.."

මම පෑණයි සහතික ටිකයි එයාට දීලා හීනෙන් වගේ නිශානි ළඟට ගියා. එයාගෙ කට හඬ ඇහුන වෙලාවෙ ඉඳන් මගේ අත් අකුරු ඇද වෙලා තිබුණ හැටි එයාට පෙනුනා මම දැක්කෙ නෑ මගේ ඇස් වල කඳුලු පිරිලා තිබුණ නිසා..... නිශා අසරණ විදියට මා දිහා බලාගෙන හිටියා, මම කඳුලු අතරින්ම තෑගි පාර්සලයක් අරන් ඔතන්න පටන් ගත්තා.

               මගෙ හිතේ කඳුලුත් එක්කම හිර වෙලා තිබුණෙ අමුතුම හැඟීමක්. ඒක දැන්වත් මට විස්තර කරන්න බෑ.... එයා මට බනින්න හරි මා එක්ක කතා කළ එක හොඳයි කියලා මට හිතුනා. එයා හරිම ආඩම්බරයි කියලාත් මට හිතුනා. සිතිවිල්ල නම් හරි කියලා මම දන්නවා. ඉස්කෝලෙ ප්රධාන ශිෂ් නායකයා වුණා කියලා එහෙම වෙන්න ඕනද කියලා ත් මම කල්පනා කළා.

ඒත් සෙරමත් එක්ක එයාගෙ ඇස් දෙක මට අමතක කරන්න බැරු වුණා. තරු කැට දෙකක් වගේ බබලපු එයාගෙ ඇස් දෙක මාව වශී කළා. අරුන්දතී තරුව වගේ අද සෞම්‍යව බබලන එයාගෙ ඇස් දෙක එදා මට පෙනුනෙ රෑ අහසෙ බැබලුණ අඟහරු වගේ...

               එයාගෙ ඇස් දෙක ගැන මම කොච්චර නම් නිශා එක්ක කිවුවාද. එයා මට කොය් තරම් බැන්නාද. ඉස්කෝලෙ පුරාවට ප්‍රසිද්ද ඔයාගෙ ආඩම්බරකමත් එක්ක ඔයාට ලං වෙන්න හදන එකත් මෝඩ කමක් විදියටයි නිශා හිතුවෙ.

ඒත්............. නිශා වත් දැනගෙන හිටියෙ නෑ මම එයාගෙ ඇස් දෙකට වගේම , එයාගෙ තිබුන පුදුමාකාර ආඩම්බර කමටත් ගොඩක් ආදරේ කළා කියලා. මට එයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඇත්තම කිවුවොත් මමවත් දැනගෙන හිටියෙ නෑ මම වැඩිපුරම ආදරේ කළේ එයාගෙ තරු ඇස් වලටද නැත්නම් එයාගෙ ආඩම්බර කමටද කියලා. ඒක බොහොම වෙලාවට මටම ලොකු ප්රශ්නයක් වුණා.

               එයා ලඟට ගිහින් වචනයක්වත් කතා කරන්න පුලුවන් කමක් මට කවදවත් තිබුනෙ නෑ. මට හැම වෙලාවෙම මතක් වුනේ සහතික ටික නිසා එයා මට බැනපු හැටි.ඒත් ඔයා ගැන ඒක පාර්ශ්වික ප්රේමයක් මගෙ හිතේ හැමදාම තිබුනා.

"ඇයි තරු ඔයා මේ තරම් නිශ්ශබ්ද? මට කියන්න තරු ඔයා මට කැමති ? මම මේ වගේ කිසිම කෙනෙක් ඉස්සරහ බැගෑපත් වෙලා නෑ තරු...."

එයාගෙ වචන ටික මාව ආයෙමත් අතීතයෙන් වර්තමානයට ගෙනාවා. එයාගෙ ඇස් දෙක නම් තවමත් එදා වගේම නිවි නිවී දැල්වෙනවා... පුංචි තරු කැට දෙකක් වගේ. ඒත් එදා තිබුනු ආඩම්බර කම කොහෙද කියලාවත් හිතා ගන්න බෑ. පුංචි මුව පැටියෙක් වගේ අහිංසකව එයා මා දිහා බලාගෙන ඉන්නවා.

               ඊලඟට අපේ සංවාද්යෙ ප්රථම වතාවට මම මගේ මුව විවර කළා. "මම ඔයාට කැමති නෑ තරු....." මගෙ හිතට පුංචි දුකක් වත් දැනුනෙ නෑ.......ඊටත් පස්සෙ මට තේරුනා මම වැඩිපුරම ආදරේ කරලා තිබුණෙ එයාගෙ ඇස් දෙකට නෙමේ, ආඩම්බර කමට කියලා.

~සිඳු~

Tuesday, January 24, 2012

හැඟීම් අපිට දැනෙනවා.. විස්තර කරන්න අමාරු හැඟීම් ඒ අතර තියෙනවා. පාට අපි දකිනවා.. ඒ පාට අපි විඳිනවා. අපට දැනෙන හැඟීමක් පාට වලින් සිත්තම් කරල පෙන්වන එක කොච්චර අමාරු දෙයක් වෙන්න ඹ්නද.. ඒත් අපේ හිත හරි අපූරුවට එක එක පාට වලට නෙක නෙක තේරුම් හදල දීල තියෙනවා අපේ උපන් දා සිට අත්දැකීම් එක්ක..


සිත්තරෙකුට ඹ්න වුනා එහෙම හැඟීමකට පාට දෙන්න..


හැඟීමකට පාට දෙන්න
http://changingcourse.com/images/j0387552[1].jpg

ජීවිතේ පින්තාරු කරනා සිත්තරෙක්
හිස් බවින් පිරී ගිය කැන්වසය - පින්සලක්
දැනෙනසුළු හදවතක්, පණ ගැහෙන හැඟීමක්
විරහවට පාට දෙන සිතුවමක්…

බිඳුන හද රිදුන සිත, අඳුරු බව - කළු පැහැය
ආදරය නිසයි දුක, ප්‍රේමයේ - රතු පැහැය
පිවිතුරුයි එනිසාම දුක වැඩියි - නිල් පැහැය
ඈ ඔහුගෙ ජීවයයි, හුස්ම දුන් - කොළ පැහැය

ගිලෙන මළ හිරු රැසින් දැවෙන ගත - කහ පැහැය
මංමුලා හිස් බවයි, අසරණයි - සුදු පැහැය
චංචලයි මේ හැඟුම් පටලැවී බැඳිලාය
පාට මුහුවී අමුතු නව පාට සැදිලාය

විරහ දුක පින්තාරු කරනා සිත්තරෙක්
හාත්පස අඳුරු වුන නන් වර්ණ චාපයක්
එය ඉන්ද්‍රචාපයක්! ඔහු තුලද ගැටළුවක්!
ජීවිතේ හරි පුදුම සිතුවමක්…

ඩයිනමයික්DynaMic

Friday, January 20, 2012

මහ වරුසාවට පසු

අපි මේ ලෝකෙට ඉපදුනේ අටලෝ දහමත් අතේ ගුලි කරගෙනම.......... දුක , සැප, ලාභ , අලාභ, යස, අයස, නින්දා,ප්‍රශංසා ආදී සේරම දේවල් අපිට නො අඩුවම ලැබෙනවා දවස ගානෙම. ඒත් මොකද්දෝ අහේතුවකට, අපි වැඩිපුරම හිතන්නෙ අපි අත්විඳින සතුට ගැන නෙමේ, ලැබෙන දුක් කම්කටොලු ගැන විතරයි. ඇයි ඒ? දුකක් දරාගෙන ඊලඟට අපිට හිනා වෙන්න පුළුවන්නම් කොච්චර හොඳ වෙයිද.......?


ගුගුරුවා ඉරිතලා
අසනි වරුසා ගලා
දෙකඩ කරනට තැනුව
කුරිරු හිස් අහස යට....


හුදෙකලාවේ තනිව
වැහි දියෙන් පීඩිතව
කප්පරක් දුක් දරා
සුසුම් ලූ මහ පොළොව.....


වැසි ගෙවී මොහොතකින්
සුදු පාට අහිංසක
පුංචි හතු මල් පොට්‍ටු
වලට ජීවය දුන්නෙ,


වැසි දියේ නොදම් බව
අසල නොම පෙළුන වග
පසක් කරලනු වස් ද
රුදුරු වූ නුබ ගැබට.........?


                                                  -සිඳු-
                                   

 අතීතය කියන්නෙ මහ පුදුම දෙයක්. අපිට වෙන ඕනම සිදුවීමක් (සමහර විට දැන් අපි මතක් කරන්න පවා අකමැති) කාලයක් ගතවෙලා අතීතය බවට පත් වුනාම කාට හරි කතන්දරයක් වගේ කියන්න වුනත් පුළුවන් තරම් සුන්දර වෙනවා. ඒව අත්දකින වෙලාවෙදි මොන හැඟීමක් දැනුනත් අතීතයේ දි ඒව ලස්සන කතන්දර බවට පත්වෙනවා.. මේ හැම දේම මායාවක් නිසා වෙන්නැති..

මේක මතක් කරන්න අකමැති කතාවක් නෙමේ.. මතක් කරන්න හරිම අමාරු එකක්.. මොන්ටිසෝරියෙ පලවෙනි දවස යාන්තං වගෙ මතකයි.

පියානෝව
 
මොන්ටිසෝරි යන්න පළවෙනි දවස ලංවෙනවා. ඒ ටික කාලය හරිම අලුත්. අලුත් පොත් පැන්සල්, ස්ටිකර් කොල පිටින් ගෙනල්ල පොත් වල අලෝනව අම්මයි තාත්තයි. මටත් රට රාජ්ජෙකට යන්න වගේ සැලකිලි. තාත්ත මාව බයිසිකලේ තියං යනව ටේලර් සාප්පුවට.. ටේලර් අංකල් ටේප් පටිය ඇඟ වටේට තිය තිය මනිනව. මං ඉස්සර හරි කෙසඟයි. ටේප් එක දහ දොළොස්  වතාවක් වුනත් ඉන වටේ එතුව හැකි කියල අංකල් කිව්ව. කොන්ඩෙත් කැපුව නෑඹිලි කට් එක වගේ එකක්. අලුත් සපත්තු අලුත් මේස්, සාක්කුවට තියල කටු ගහන්න හොටු ලේන්සු..

එදා උදෙම්ම නැගිටින්න වුනා. අම්ම අලුත් ඇදුම ඇන්දෙව්වා.. කිරිබත් කැව්වා. ආදරණිය ආච්චි අම්මා එයාගෙ ගවුං කොනෙන් මගෙ කට පිහුවා.  කිරි කොකා වගේ මොන්ටිසෝරියට ගියේ හරියට උඩින්ම ජයගත්ත දේශපාලකයෙක්ගෙ සම්බන්ධිකරණ නිලධාරියා වගේ තේජාන්විත ලීලාවෙන්. මං වගේම තව කොක් පැටව් ගොඩක් ඇවිල්ල. ඒ පිට මිදුල ගස් වලින් වැහිලා හරිම හෙවනයි. හෝලි ෆැමිලි එකේ මොන්ටිසෝරිය තිබුනෙ තාප්පෙන් එහා පැත්තෙ. අපි බට්ටො ටික එහෙ මෙහෙ දුව දුව හිටියා.
සිස්ටර් කෙනෙක්  අපිට ආදරෙන් කතා කරල  ගේට්ටුවෙන් ඇතුලට අපිව එක්කං ගියා. අම්මලත් හෙමීට අපි පිටිපස්සෙන් ආව කියල අපිට හිතුනෙ. අපිව එක්කං ගියේ ලස්සන ලොකු සාලාවකට.. අපි ඉබා ගාතෙ අහුවෙන හැම ලස්සන දෙයක්ම අත ගගා බලන්න පටං ගත්තා. (කාට හරි හිතෙනවනං වඳුරොත් එහෙමනෙ කියල, හරියටම හරි එහෙම්මම තමා).. අපිට අපූරු අත්දැකීමක් වුනා ඒක..


ඔය අතරෙ අපෙන් එක්කෙනෙක්ට මතක් වුනා එයාගේ අම්ම කොයි බලන්න.. අම්මල හිටියෙ නෑ.. එයාල තාප්පෙන් එහා පැත්තෙ.. අපි මොන්ටිසෝරියෙ ලස්සන සාලාව ඇතුලෙ. දොරත් වහල. උස් හඬින් පැතිරිච්ච හීන් ඇඬිල්ලක් අර කච බච සද්දෙ පරදගෙන මුළු පරිසරයම වෙලාගත්ත මහා ගාලගෝට්ටියක් විලාපයක් බවට පත්වෙන්න මහ වෙලාවක් ගියෙ නෑ. තමන්ගෙ අම්ම ලඟ නෑ කියල දැනෙනකොට මගෙ කකුල් දෙකත් සර්පිනා (හරි මොනහරි එකක්) ගහන්න පටං ගත්ත.. දැං දොරේ එල්ලීගෙන අපි  හැමෝම කෑ ගහනව අපේ අම්මලව ගෙනත් දෙන්න කියල.

මට තේරුණා මෙහෙම කෑ ගහල තේරුමක් නෑ කියලා..මේ සිස්ටර් ලා අම්මලාව ගෙනත් දෙන්නෙ නෑ කියල සක්සුදක් සේ පැහැදිලියි. මං ගියා සාලාවෙ කොනක ස්ථාපනය කරල තිබුන දේව මෑණියන්ගෙ පිළිරුව ගාවට.. දණ ගහල ඇස් දෙකත් වහගෙන අත් දෙක වැඳගෙන මං එතුමියට කිව්වා "අනේ ජේසු අම්මෙ අපිට අපේ (මට මගේ ද කියල මතක නෑ) අම්මලාව ගෙනත් දෙන්නකෝ!" කියල.


ඒ ඉල්ලීමටත් පිළිතුරු ලැබුනෙ නෑ.. ගොඩක් වෙලා ගියාට පස්සෙ තව සිස්ටර් කෙනෙක් ආවා. ලොකූ ලී උපකරණයක් ගාව තිබුන බංකුවක වාඩිවුනා. පියන විවෘත කරල සුදු කලු යතුරු උඩින් ලස්සන ඇඟිලි තැබුවා. මගෙ ජීවිතේට මං පළවෙනි වතාවට පියානෝවක් දැක්කෙ එදා. පියානෝවකින් සුමධුර තාල මවන හැටි දැක්කෙ එදා.. බිම පෙරලි පෙරලි බෙරිහන් දුන්න අපි ඔක්කොම පියානෝව වටා පොදි ගැහුනෙ මී වදයක රොද බඳින මී මැස්සො වගේ.. අපිට හුස්ම ගන්නත් අමතක වුනා. කොටින්ම කීවොත් අම්මලවත් අමතක වුනා. සුමටව ගලා ගිය ඒ වාදනය අවසන් වුනා. අපි වශී වෙලා වගේ බලාගෙන හිටියා. කිසිම හඬක් පිට කරන්න බැරි වුනා අපි කාටවත්. පුදුම නිහැඬියාවක්. අපි දිහා බලල හිනාවුන සිස්ටර් මොකුත් නොකියාම යන්න ගියා.. අපි එයාගෙ පස්සෙන් දොර ගාවටම ගියා. එදාට මොන්ටිසෝරිය අවසන් වුනා.


පහුවදා මං කෙලින්ම දුවගෙන ආවෙ පියානෝව ගාවට.. තවත් ලමයි එතන හිටියා. ඒ සිස්ටර් එනකං අපි බලන් හිටියා.. ඒත් එදායින් පස්සෙ ආයෙ කවදාවත් අපි ඒ සිස්ටර් ව දැක්කෙ නෑ. ඒ පියානෝව වෙන අය වාදනය කරන්න ඇති. ඒත් මට මතක නෑ. මං සංගීතෙට ආදරේ කරන්න ගත්තේ ඒ සිස්ටර්ගෙ පියානෝ වාදනය අහල කියල කියන්නේ නෑ මං. ඒත් ඒක එහෙම වුනා වෙන්නත් හොඳටම පුළුවන්.


මට තාමත් ගොඩක් හොඳට පියානෝ ගහන්න බෑ. ඒත් කවද හරි මම අපේ ගෙදරට හොඳ පියානෝ එකක් ගන්නවා. මං පියානෝ ගහනවට අකමැති නොවන සහකාරියක් මට ලැබුනොත් විතරක් මං ඒ පියානෝ එක ගහනවා…

-- ඩයිනමයික් DynaMic
 

http://www.okokchina.com/Files/uppic4/DUKE%20UP%20Piano776.gif   
http://rlv.zcache.com/pink_teddy_bear_alphabet_nursery_wall_art_print-r16b5ec0b0daf4d95b6b724a48a012254_wva_400.jpg?bg=0xffffff 

Thursday, January 19, 2012


විරහව යනු අළුත් දෙයක් නෙවෙයි.. දස සහස් ගණන් කවි ගී ලියවිලා ඇති සියක් බස් වහරින්..
එදා අද තුර තවත් ඉදිරියට, එකක් පසුපස එකක් යනුවෙන් ලියවේවී තවත්...
මේ ලියන මම්ද මේ බලන ඔබද, අප අපේ ලෝකයෙහි අපේ ගමනක් යාවි...
 

එනමුදු, ලියමි මම්, 
ලියැවුන ලියැවෙන සෑම කවියක්ම, පසක් කර දෙන නිසාවෙන්..
මම (බොහෝ විට ඔබත්) සාමාන්‍ය මධ්‍යනයෙන් බොහෝ අපගමනය නොවන වග...

 
නිහඬ වූයෙමි මම
 
ආදරයයනු කිමෙක්ද?
මගෙන් විමසුවා මගෙ සිත..
ඹබ මා දන්නා වියත් පිළිතුරු
කියන්නට මුව විවර කෙරුවෙමි...

අහෝ! නොදැනේ නොහැගේ මටනම්..
ගොළු වුනේ ඇයි මගේ හදවත..
කිසිත් පවසා ගනු නොහැකි ලෙස..
අසරණව ඇද වැටුනි හදවත..

... මෙතෙක් කල් මා හොදින් දැන හුන්..
සියළු දේ පැටලී එකින් එක..
අරුත් නොදැනී අඳව ඇති බව
පසක් විය මට පෙඟුන දෙනෙතට..

නිහඬ වූයෙමි මම..
නෙතු බිමට යොමුකර.....



- ඩයිනමයික්  DynaMic 


හීනයක්

සෙනෙහස රොද බැඳ දැවටෙන සුළඟ ද
මුමුනත මා හද ආදර පද බැඳ
සුලඟ ඇවිත් නුඹ වෙත පවසන සඳ
නුඹ හද කුටියේ දොරගුළු විවරද......

මින් දද මල් හී සර විදලා මද
සවනට රහසින් කොඳුරත රොද බැඳ
විවර කරන්නට හදෙහි යදම් සිඳ
සීනෙක කැටි වී නුඹ වෙත එන්නද......

නිකැලැල් දියලැල් ගලාන ගිය නඳ
සිඳු අබියස හිඳ ගඟ නැවතුන ලෙද
මා සිත නුඹ අබියසම තැවෙන සඳ
මේ හීනෙන් මා පිබිදෙනු කෙලෙසද..........

       -සිඳු-