Monday, June 11, 2012

සුභ පැතුම් !!!!!!!!!



උසස් පෙළ අමතර පන්ති යන්න ගත්තට පස්සෙ සහෝදර පාසලේ ළමයින්ව අඳුනාගන්න අවස්ථාවක් ලැබුණා. එහෙම කියලා යාළුවො තරමට ළං වුණ මහ ගොඩාක් හිටියෙ නෑ. අතේ ඇඟිලි වලින් ගනන් කරන්න පුළුවන් තරම් යාළුවො ටිකක් හැදුණා සහෝදර පාසලෙන්. ඇත්තමයි ඒ කිහිප දෙනා අපේම සහෝදරයො වගේ වුණා. රණ්ඩු ඇති නොවුණා ම නෙමේ. ඒත් ඒ හැම දේම පොඩි වෙලාවයි.


අමතර පන්ති ඇරිලා අපි හැමෝම ආවෙ බස් එකේ. සිඳු ඇතුළු යාළුවො ටික එනකම් අපේ මේ යාළුවො බස් එකකට නගින්නෙ නෑ. අපි කවදාවත් කියලා නෑ, අපි එනකම් ඉන්න කියලා. ඒ වගේම එයාල කවදාවත් කියලා නෑ අපි ඔයාලා එනකම් ඉන්නම් කියලා. ඒත් හැමදාම කට්ටියම ගියෙ එක බස් එකේ. බස් එකට නැගලා එයාල එයාලගෙ පාඩුවේ, අපි අපේ පාඩුවේ සුපුරුදු කතා. සමහර වෙලාවට අපේ කතා වලට එයාලාත් සම්බන්ධ වෙනවා.... ගොඩාක් වෙලාවට වුණේ අපිව විහිළුවට ගත්තු එක තමයි.ඒත් කිසිම දවසක අපි කිසිම කෙනෙක්ගෙ හිත රිදෙන විදියෙ අනවශ්‍ය විහිලුවක් මේ කවුරුත් කරලා නෑ. ඇත්තෙන්ම සිද්ධ වුණේ බස් වල යන විවිධාකාර මානසිකත්ව තියන අනිත් මිනිස්සුන්ගෙන් අපිව ආරක්ෂා වුණ එක. ඒ ගැන තවමත් මේ යාළුවො ගැන මගෙ හිතේ තියෙන්නෙ ලොකු ගෞරවයක්.

ඉතින් මේ පුංචි සටහන තැබුවෙ එක්කෙනෙක් ගැන කියන්න. ඒ ඩයිනමයික්. මේ බ්ලොග් එකේ අනිත් නිර්මාපකයා. උසස් පෙළ පන්ති යන කාලෙ මට මුණගැහුණු ඒ යාළුවො  කණ්ඩායමේ එක් සාමාජිකයෙක්. එක් සාමාජිකයෙක් කිවුවාට විශේෂම කෙනෙක්. ඉස්සර ඉඳන්ම සරල ගතිගුණ තියන , අහිංසක , ඒ වගේම සංවේදී (සමහර වෙලාවට උවමනාවටත් වඩා සංවේදී) යාළුවෙක්. කෙනෙක්ට යාළුවෙක් ඕනම වෙලාවට ලඟ ඉන්න යාළුවෙක්. අපේ විතරක් නෙමේ, අපේ දෙමවුපියන්ගෙත් ආදරයට ගෞරවයට පත් වුණ යාළුවෙක්.


යාළුවො කතා කරනවා නම් ඕනා තරම් වෙලාවක් අහගෙන ඉඳියි. හිනා වෙනවා නම් ඕන තරම් වෙලාවක් එකට හිනා වෙයි. අඬනවා නම් එක වචනෙකින් යාලුවන්ගෙ හිත හදයි.


නංගිට ආදරණීය අයියා කෙනෙක් වුණ, දෙමවුපියන්ට ආදරණීය පුතෙක් වුණ, යාළුවන්ට අසමසම යාළුවෙක් වුණ ඩයිනමයික් ගැන මම මේ වගේ විස්තරයක් කළේ ලොකු දෙයක් කියන්න.

 අද ඩයිනමයික් උපන්දිනය සමරනවා.


12 - 06 - 2012

ඒකට සුභ පතන්න අපේ බ්ලොග් එක තරම් හොඳ තැනක් මට මතක් වුණේ නෑ.


ඉතින්, ඩයිනමයික්, 
මේ ලැබූ උපන්දිනය ප්‍රීතිමත් උපන්දිනයක් වේවා !!!
අදින් ඇරඹෙන ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!


(ඩයිනෝ.........මේක දැකලා , තැන්ක් යූ කියලා නම් මදි............ කේක් ඕනා)

Friday, June 8, 2012

මේඝයන් මැද 02


මේඝයන් මැද  01






බිඟු පහසින් මත් වූ කුසුමන් තුටින් හිනැහේ. දසතින් ඇසෙන විහඟුන්ගේ නාදයෙන් සවන් පිරී යයි. සුවඳ හමන විකසිත කුසුමක් ලෙසින් මසිත විකසිතය. හිමිදිරියේ සිහිලද නොතකමින් මම ස්නානයට සූදානම් වෙමි. ආභරණ හා සළුපිළි ‍රැගත් සේවිකාවෝ දෙදෙන සිකිපිත් පසු පස ඇදෙන, උගේ පිළි කළඹ ලෙසින්  මා පසු පස ඇදෙති. කොතරම් සැප සම්පතින් අනූන වුවත් මේ නිදහස් රහිත ස්වභාවය නම් මගේ සිතෙහි එතරම් සතුටක් ඇති නොකරයි. එහෙත් මේ මාගේ මහ රජතුමාගේ සතුටයි. ඉදින්, ඒ සඳහා මා විරුද්ධ වන්නේ කෙලෙසද.


පොකුණු දිය මස්තකයෙහි පාවෙන ඇහැළ මල් පෙති දෙකක් දිය මත තරංග සමග තරඟයට මෙන් දඟ කරයි. රෑ පිපුණ සේපාලිකා මල් සුවඳක්ද තවම කොහෙදෝ සිට හමා එනු දැනේ. 


"උදුලා කුමරිය, දිය ස්නානයට කටයුතු සූදානම්" 


මාගේ ප්‍රමාදය දැකීමෙන්දෝ සේවිකාවක් මා අසලට පැමිණ පවසයි. මගේ සළු පිළි පසෙක තබා ඔවුනට සිය කාර්යයකට නික්ම යන්නැයි පැවසීමටද සිතේ.තනිවම දිය පීරා ගොස් පොකුණ මැද පිපී හිනැහෙන තඹුරු නෙළා ගැනීමට මම ප්‍රිය කරමි.එහෙත් එවැන්නකට ඉඩක් නැත.


         පොකුණට බසින පඩිපෙළ මත හිඳගන්නා මම දෙපා සරසන නූපුර උණා දමමි. මේ නූපුර රටාව මගේ මහරජතුමා සැබැවින්ම ප්‍රිය කරන රටාවකි. ඒ පිළිබඳව ඔහුගේ ඇල්ම සිහි වීමෙන් මා මුවග මදහසක් මැවෙනු මට දැනේ.එය මාගේ සේවිකාවන් දෙදෙනාගෙන සැඟවීමට අමතර වෙහෙසක් දැරීමට මට සිදු වේ. 


එක්වරම ඇසුන ළමා සිනා හඬකින් මගේ දැහැන බිඳේ. ඒ විදීෂ කුමරුන් බව අවටහා ගැනීමට මා හට ඒ දෙස  බැලීමට අවශ්‍ය නොවේ.


"නවතින්න කුමරුණි" විදීශ කුමරුන් පසුපස ගත ‍රැඳි සළුපිළි දණක් දක්වා ඔසවා ගනිමින් දිව එන ඔහුගේ කිරි මව නන්දා දකින විට මගේ මුවට නැගෙන්නේ වලක්වා ගත නොහී සිනහවකි. ඇගෙන් මිදී මා වෙතට දිව එන විදීශ කුමරුන් මා ගතට තුරුල් වේ. ඔහුගේ සිඟිති මුවගින් තවමත් ගලන්නේ කිරි සුවඳය. ගෙල ‍රැඳි රාජාභරණ ඒ මොළකැටි වතට බර වැඩි යැයි මට සිතේ.


"උදුලා කුමරිය සැරසෙන්නේ දිය ස්නානයටයි කුමරුණි, ඒ සඳහා ඉඩ දී අපි ආපසු යමු කුමරුණි"


කුඩා විදීෂ තවත් මා වෙත තුරුළු වේ.


"නන්දා ආපසු යන්න. " සිඟිති මුව උල් කරමින් ඔහු පිළිතුරු දෙයි.


"විදීෂ කුමරුන් මා සමග උන්නාවේ නන්දා" මා පවසන්නේ කුඩා දරුවාගෙ මුවට ගලා එන කිරි සිනා තවත් වැඩි කරමිනි.


විදීෂ අගබිසවගෙ පුතණුවන්ය.මාලිගය පුරා නිරන්තරයෙන් දිව යන ඔහුගේ දෙපා වලට විවේකයක් නැත.සියලු දෙනාගේ ආදරය දිනා ගත් ඔහුගේ විශේෂ ඇල්මක් දිනා ගත් කිහිප දෙනා අතරින් මම එක් අයෙක් වෙමි. 
"ඔබ කෙරෙහි මගේ ඇති ආදරය කුමරුවන්ටද දැනෙනවා ඇති" මහ රජතුමා ද එසේ පැවසුවේ වරක් දෙවරක් නොවේ. 
දඟකාරකම් නිසා ඇති වන තුවාල පෙන්වීමට, සිය මව සමග වන ආරවුල් පිළිබඳව පැමිණිලි කිරීමට, අවේලාවේ කුස ගිනි සිදු වූ විට ආදී බොහෝ අවස්තා වලදී ඔහු මා සොයා පැමිණේ.


"මේ කුමක්ද"? ඔහු අසන්නේ මා අතේ වූ නූපුර පෙන්වමිනි.


"ඒ නූපුර කුමරුණි"


"මට දෙනවාද?" මට සිනහ උපදින්නේ නිරායාසයෙනි.


"නූපුර පළඳින්නේ කාන්තාවන්. හැරත් කුඩා දරුවකු ඉන් කුමක් කරන්නද?"


නොපිට පෙරලුණු ඔහුගේ තොල්පෙති නොමනාපය කියා පායි.මම ඔහුගේ හිසකේ පිරිමදිමි.




"මට අර මල නෙලා දෙන්න"එවර නම් ඉ‍ටු කළ හැකි ඉලීමකි.මම සළුපිලි සමගින්ම පොකුණට බසිමි. නෙළුම් මල තව දුරය. දණට මදක් ඉහළට දිය පිරී ඇත.


"කුමරිය, මා මල නෙලා දෙන්නම්"සේවිකාව පවසන්නීය.


"නුඹ ගොඩට වී කුමරු පිළිබඳව විමසිල්ලෙන් සිටින්න" 


පොකුණු ගැට්ට මත ඇණ තබා ඉඳගත් විදීෂ කුමරුන් මා නෙළනා මල් දෙස ආශාවෙන් බලා සිටියි. සුදු ඕලු මල් දෙකක් සහ නිල්මහනෙල් මලක් මා නෙළා ගතිමි. කුමරුන් පෙන්වූ නෙළුම් මලට තව දුරය.පොකුණු පතුලේ සිටින මින් කැළ මා දෙපා කිති කවනු මට දැනේ. මම තවත් ඉදිරියට යමි.ගමේ ඇළ දොළ සියල්ලම පුරුදු මා හට මේ කුඩා පොකුණ බියජනක ස්ථානයක් නොවේ.


"විදීෂ........ " එක් වරම ඇසෙන හඬක් මා කලබලයට පත් කරයි.
නන්දාද කැ‍ටුව වහ වහා අප වෙත පැමිණෙමින් සිටින්නේ අග බිසවුන් වහන්සේය. ඇගේ මුහුණේ ස්වභාවය නම් එතරම් යහපත් නැත. මහත් වූ කෝපාග්නියකින් ඈ දැවෙන්නා සේය. 


"කුඩා දරුවා ත් ළඟ තබාගෙන නුඹ මේ කුමක් කරන්නේද උදුලා?" මා හට පහර දීමට බඳු පරුෂ බවක් ඇගේ හඬෙහි ඇත.


"මා සූදානම් වූයේ කුමරුන්ට මල් නෙළා දීමටයි බිසවුන්වහන්ස"


"යස මල් නෙලීම.... කුමරුනුත් පොකුණට බැස්සා නම්.........මගේ දරුවා මරා ගැනීමටද නුඹට අවශ්‍ය?"විදීෂ කුමරුන් අතින් ඇද ඇය තමා වෙතට ලං කර ගනීයි.


           ඔහුගේ දෙනෙතේ මතු වූ විශාල කඳුලු බිඳු දෙකක් සියුමැලි කම්මුල් ඔස්සේ ගලා යයි. රාජකීයත්වයටම ඔබින ගතිගුණ ඇති මේ සිවු හැවිරිදි දරුවා හඬ නගා හඬා වැලපෙනු මා දැක ඇත්තේ ඉතා අහම්බෙනි.මගේ දෑස්ද තෙත් වන්නේ ඉබේමය.මවකගෙන් දරුවකු උදුරා ගැනීමට මා හට අයිතියක් නැත. එසේ හෙයින් දෑස් වලට දුක් වන්නට ඉඩ දී මම හිස් බැල්මෙන් බලා සිටිමි. 


ආපසු හැරි හැරී මා දෙසත්, පොකුණ අසල වැටී ඇති මල් තුනත් දෙස බලමින් යන කුඩා කුමරුවන් පිළිබඳව මෙන්ම මා පිළිබඳවද සිතේ ඇති වන්නේ ශෝකයකි. නෙත් තුළ මතු වූ කඳුලු මටත් හොරෙන් ගලා යයි. සේවිකාවන් දෙදෙනා විමසිල්ලෙන් මා දෙස බලයි. මොහොතකට පෙර සිනා ඔවුන්ගෙන් වසන් කළ මම දැන් කඳුලු ඔවුනගෙන් වසන් කිරීමට උත්සාහ කරමි. 


දිය කෙළියට හෝ ස්නානයට දැන් සිතේ උනන්දුවක් නැත. යන්තම් මුව දොවාගන්නා මම ගොඩට පැමිණෙමි. 


       ආපසු පැමිණෙන පා ඔසවන මාගේ දෙනෙත් ඉබේම මාලිගය දෙසට යොමු වේ. මගේ නෙත ගැටෙනේ අනපේක්ෂිත දසුනකි. මහ රජතුමා සීමැදුරු කවුළුවෙන් මා දෙස බලාසිටියි.මැලවූ මුහුණින් යුතුව එත්මා දෙස කෙලින් බැලීමට අපහසුය. මම බිම බලා ගනිමින්ම එතැනින් පිය නගමි.සිදු වූ සියල්ල එතුමාද දකින්නට ඇත. එතුමාද මා පිළිබඳව උදහස් වේවිද.


අන්ත:පුර බිසවුන් දෙදෙනෙක් මා දෙස උනන්දුවෙන් බලා සිටිති. ඔවුන් සමග සුහද කතා බහක යෙදීමට තරම් සුදුසු මානසිකත්වයක් මා හට නැත.




"උදුලා බිසවට මහ රජතුමගෙන් පණිවුඩයක්" රජමාලිගයේ සේවිකාවක් කලබලයෙන් මා සොයා පැමිණේ. "හැකි ඉක්මනින් එහි පැමිණෙන්නට කීව"


        සිදුවන්නට යන්නේ කුමක්දැයි මා හට පැහැදිලිය. එහෙත් දැන් කිසිවක් වෙනස් කරලීමට නොහැකිය.විදීෂ කුමරුන්හට විස්තර කළ නොහැකි තරමේ ආදරයක් මිස ඔහුට හානියක් කිරීමට මගේ තුන් හිතකවත් අදහසක් නොතිබූ බව මම දනිමි. කුඩා විදීෂ ද ඒ බව දනියි. එහෙත් රාජ උදහසට සියල්ල යටය. රජතුමා මා හටා කොතරම් ආදරය කළත් සිය පුතණුවන් හමුවේ මා හිරු දු‍ටු පිණි බිඳක් පමණක් නොවේද.


    මටද අවසඟව පැකිලෙන දෙපා ඉක්මන් කරමින් මම මහරජතුමා කරා එළඹෙමි. 


     එතුමා පසෙකින් කෝපාග්නියෙන් දැවෙන දෙනෙතින් දෙනෙතින් යුතුව මදෙස බලා සිටින අගබිසවය. එතුමාගේ අතෙහි තවමත් මැලවුණු මුහුණින් යුතුව මදෙස බලාසිටින විදීෂ කුමරුන්ය. එතුමාගේ කාන්තිමත් තේජස් දෙනෙත් දෙස බලා සිටින්නට නොහැකිව මම බිම බලා ගනිමි.

-සිඳු-


Sunday, June 3, 2012

මතකය අතහැර



හාත්පස අඳුරින් වැසී ඇත. මුළු සරුවාංගයෙන් දහදිය පෙරෙමින් තිබේ. මම සුසුමක් හෙලා ඔරලෝසුව දෙස බැලීමි. ඔරලෝසුවේ පාන්දර 2.30 සටහන් වේ. බිහිසුනු සිහිනයෙන් අවදි වුනු මගේ සිතට තවමත් බිය වේදනාව දැනෙනා සෙයින් ඩිකැන්ටරය ගෙන දිය බිඳක් පානය කලෙමි.  සිසිල් වූ දිය ගිනිගත් සිතුවිලි නිවා දමන්නට සමත් නොවූවා සේය. මම නැගිට විද්‍යාගාරය දෙසට පා නැගුවෙමි. අපිරිසිඳු මේසය මත පමණක් නොව කළාලය මතද සටහන් කොල විසිරී ඇත. මම බලාපොරොත්තු සහගත ඇසින්, මේසය මත පණ අදින හුරුබුහුටි යන්ත්‍රය දෙස බැලීමි. ඉතා ඉක්මනින් මේ සියල්ල යථා තත්වයට පත්වනු ඇති බව මගේ සිත මට පවසයි. මේ දැනෙන වෙහෙස මගේ මනසට තවදුරටත් දැරිය නොහැකිය. 

***

සියල්ල ඇරඹුණේ විශ්ව විද්‍යාල ජීවිතයේ අවසන් වසර කිහිපයේයි. සියල්ලන්ටම මෙන් මගේ සිතටත් ආදරය දැනෙන්නට පටන් ගත් සැටි සිතුවමක් මෙන් මගේ සිතේ ඇඳී මැකී යයි. ආදරය සුන්දර බව න්‍යායයක් ලෙස මා දනිතත් මගේ එම සුන්දර මතකයන් පිරි තණනිල්ල වියලා දමමින් වේදනාවේ රළු ගිනිදැල් මා වටා බුර බුරා නගියි. සහසක් මිනිසුන් හැඬවූ වියෝදුක මටද උරුම විනි. වරදකාරී හැඟීමකින් මගේ සිත කීරි ගැහෙයි. සිදුවීම් ප්‍රවාහය බිඳහෙලා ඇය මවෙත රඳවා ගැනීමට තරම් ශක්තියක් මට නොමැති වීම ගැන මම දහස් වරක් ලත වුනෙමි. ඇගේ රුව සිහිනෙන් දකිනා විට දරාගනු නොහැකි ශෝකයකින් මම ඉකි ගසමින් අවදි වූයේ වරක් දෙවරක් නොවේ.. එසේ නොවූ දිනයන් කෙතරම් දුර්ලභ දැයි පැහැදිලි කිරීමට සමත් නොවෙමි. මගේ දිනපොත පෙරලා බැලීමෙන් ඔබට එය යම් තරමක් තේරුම් ගත හැකි වේ යයි සිතමි. මේ අඳුරු මතකයන්ගෙන් ඈත්  වන්නට මා නොකල දෙයක් නොමැති තරම්. සෑම ගීතයක්ම, සෑම කවියක්ම මා ගැන, ඈ ගැන ලියූවක් බව මට දැනෙද්දී මම අසරණව බලා හුන්නෙමි. ඇගේ මතකයෙන් මිදෙන්නට කල අපමණ වෙහෙස මහන්සිය යන්තමින් සාර්ථක වන ලකුණු පහල වූවා පමණි.. දිනක් මාගේ දුරකථනය නාද වීය.

“මං කතාකලේ මගේ අළුත් ජීවිතය ගැන කියන්න.. සමාවෙන්න මෙහෙම කියනවට. ඒත් මට ඔයාට වඩා ගොඩක් හොඳ කෙනෙක් හම්බ වුනා. එයා ඔයා මට ආදරේ කලාට වඩා ගොඩක් ආදරෙයි මට.. ඔයාට වඩා හුඟක් හොඳට එයා මං ගැන හිතනවා. මං ඒ අතීතය ගැන දුක් වෙනවා. ඔයා ගැනත් මට දුකයි. ඒත් මං අද ගොඩක් සතුටින්. ඔයටත් සතුටින් ඉන්න ලැබේවි.“

 මගේ හදවත දෙදරා යන්නාක් මෙන් මට දැනුනි. මොළයේ සෑම නහරයක්ම හිරිවැටී මගේ දෙනෙත් කඳුලින් පිරී ගිය සැටි ඔබත් දුටුවා නම්!  එදින සිට නැවතත් මගේ නිදි මනස තුළ ඇගේ රුව හොල්මන් කරන්නට විය. නින්දට යන්නට බිය වුනෙමි මම. මගේ මොලයේ පිරී ඇති සෑම මතකයක් සමගම ඇගේ මතකය ගැටී මූසල වූ නශ්ඨාවශේෂ ඉතිරි වනු දැක මම ඖෂධ වල පිහිට පැතුවෙමි. මගේ බිඳුනු හදවත සුවපත් කරන්නට ඔබේ ඖෂධ පවා ප්‍රමාණවත් වුනේ නැති බව කියන්නේ සිත රිදවීමට නොවේ. මතකය මකා දමන්නට හැකි කුමක් හෝ  මාර්ගයක් තිබේදැයි මා ඔබෙන් විමසූ වාර ගනන අනන්තයි. මා දන්නා දහම අනුව සිය දිවි හානි කරගැනීම පිළිතුරක් නොවන බව දැන නොසිටින්නට මා ඒ අවස්ථාවත් උරගා බලන්නට තිබිණි.
මගේ සිතට යම් බලාපොරොත්තුවක් දනවන්නට සමත් වූයේ දිනක් උදෑසන විද්‍යාගාරයේ මගේසහායිකාව අන්තර්ජාලයෙන් මට පෙන්වූ නවතම ජර්මන් පර්යේෂණ පත්‍රිකාවකි.

***

ඉලෙක්‍ට්‍රොන ධාරාවන්  සහ අතිකුඩා නැනෝ ව්‍යුහයන් මගින් මොළයේ මධ්‍යස්ථාන උද්දීපනය කිරීමේ පර්යේෂණයක් ගැන එහි ලියැවී තිබුණි. මාගේ සිතට දැනුනේ මා බලාසිටි විසඳුම මා අභියස බලා සිටිනා බවකි. මොළයේ මතකය සම්බන්ධ මධ්‍යස්ථාන නිසි ලෙස උද්දීපනය කිරීමෙන් මතකය උදුරා දමන්නට හැකි වේ යන විශ්වාසය මා තුල පැන නැගුනි.  මා පමණක් නොව ලෝකයේ බොහෝ දෙනෙක් තමන්ගේ අඳුරු මතකයන් නිසා පීඩා විඳින බවත් තම මතකයේ යදම් වලින් මිදෙන්නට මා මෙන්ම ඒ සියළු දෙනාමත් වෙහෙසෙන බව පසක් වූයේ මගේ පර්යේෂණය සඳහා අනුමැතිය ලැබෙන්නටත් ප්‍රථම ප්‍රතිපාදන සපයන්නට ඉදිරිපත් වූ ආයතන සංඛ්‍යාවෙනි. එනමුදු තවත් ඇල්ප්‍රඩ් නෝබෙල් කෙනෙකු වන්නට අකමැති වීමි. අවුරුදු තුනක නිදි නොමැති මහන්සියේ සහ මා ඉපයූ සියල්ලේ ප්‍රතිඵලය දැන් මේ ප්‍රතිඵලය දැන් මේ මේසය මත ඇත. 

වෛද්‍යවරියකටත් වඩා කල සිට මා සමග පා සටහන් බෙදාගත් මගේ ලබැඳි මිතුරියක් ලෙස වෛද්‍ය විෂය පරාසයෙන් ඔබ්බට පර්යේෂණ කරමින්, මතකය සම්බන්ධ මොලයේ මධ්‍යස්ථාන තනි කරගන්නට මට ඔබෙන් ලැබුනු උදව් අමතක නොකරන්නට වුවමනා නමුත්, මගේ අඳුරු මතකයන් සමග මට මේ සටන තවදුරටත් සිදුකල නොහැකි වීම නිසා මම ඔබෙන් සමාව අයදිමි. ඔබේ මතකය සහ තවමත් හානි නොවූ මගේ සුන්දර මතකයන් ඉතිරි කරන්නට යන්ත්‍රයේ පද්ධතිය කේතනය කලමුත්, සංකීර්ණ මොළය සමග මගේ ගණනය කිරීම් එතරම් සූක්ෂමව නිවැරදි නොවන්නට ඉඩ ඇත. මට සමා වන්න. ඔබට ස්තූතියි!

***

වේලාව උදෑසන 4 පසුවන්නට ආසන්නයි. ගොදුරු සොයන වෘකයන් සේ ඇස ගසාගෙන සිටි ව්‍යාපාරිකයින්ගෙන් මේ වනතෙක් බේරාගත් පර්යේෂණ සටහන් ගිනි වැදී අළුවී යනු මම බලා සිටිමි. ඉතිරි විය යුතු මතකයන් පිළිබඳ මගේ ගණනය කිරීම් වාසනාවන්ත නොවන්නට, මේ යන්ත්‍රය පණ ගන්වන මොහොතේ සිට මිනිත්තු 20ක් වැනි කෙටි කාලයකින් මගේ මතකයන් සියල්ල සදහටම මියැදෙනු ඇත. කිසිවෙක් මෙහි තාක්ෂණය වරදට නොයොදන බවට සහතික වනු පිණිස පැය බාගයකින් මේ යන්ත්‍රයේ මව් පුවරුව විනාශ වී යනු ඇත. ඒ වනවිට එය සෑදීමේ දැනුමද අනෙකුත් සියලු දැනුම් සමග මගේ මතකයෙන් මියැදී තිබෙනු ඇත. මා සිතට වේදනා ගෙන දුන් ඇගේ රුව මට තවත් එක් රූපයක් පමණක් වනු ඇත. අදින් පසු මම නැවත අළුත් ලොවක් දකිනෙමි. දහදිය මුගුරු හෙළමින් බියකරු සිහින දැකීම තවදුරටත් නොවනු ඇත. මේ මගේ දෛවයයි. මා මේ ඉරණමට තනිවම මුහුණ දිය යුත්තෙමි. 

ඉන්ඩිකේටරයේ බල්බය කොළ පැහැයෙන් දැල්වෙයි. යන්ත්‍රය පණ ගැන්වී අවසානය. ඔබගේ නම සහ ඔබ සේවය කරන වෛද්‍ය ආයතනයේ ලිපිනය ලියූ කවරයට මම මේ සටහන ඇතුලත් කරමි. මෙතැන් පටන් මට සිදුවන කුමන හෝ ප්‍රතිඵලයක් ගැන ඔබවත්, මුළු ලෝකයවත් මා පණටත් වඩා පෙම් කල ඇයවත් වරදකරුවන් නොවන බවට දිවුරමි. හිස වටා පැලඳි යන්ත්‍ර කොටස මැදින් මගේ කාමරය මගේ නෙතට දැනේ. ඇගේ සුන්දර මුව මඬල අවසන් වතාවට මා මනස පුරාවට පිරී ඇ‍ඳී යයි. ඉකි ගසන මගේ නෙත් පුරා ඇය වෙනුවෙන් නැගෙන අවසන් කඳුළු, මුහුන පුරා රූරා වැටෙයි. ලුණු රස වියැකී ගිය එම කඳුළු වියලෙද්දී මගේ සිත සතුටින් පිරී යන බවක් මට දැනේ. අළුත් මතකයන් සොයා යන මගේ අළුත් ජීවිතය මට මැවී පෙනෙන්නාක් මෙනි. 

මතකයේ පුරා සක්මන් කරන මගේ පෙම්බරිය.. ඉතින් ඔබට සදහටම ආයුබෝවන්! 

*** ***

 
ඩයිනමයික් - DynaMic



Photos From:
1. http://us.123rf.com/400wm/400/400/tonobalaguer/tonobalaguer1111/tonobalaguer111100567/11149775-couple-in-love-back-light-silhouette-at-lake-sunset-full-length.jpg
2. http://www.buzzle.com/articles/tears-a-silent-expression-poem.html