![]() |
හාත්පස අඳුරින් වැසී ඇත. මුළු සරුවාංගයෙන් දහදිය පෙරෙමින් තිබේ. මම සුසුමක්
හෙලා ඔරලෝසුව දෙස බැලීමි. ඔරලෝසුවේ පාන්දර 2.30 සටහන් වේ. බිහිසුනු සිහිනයෙන් අවදි
වුනු මගේ සිතට තවමත් බිය වේදනාව දැනෙනා සෙයින් ඩිකැන්ටරය ගෙන දිය බිඳක් පානය
කලෙමි. සිසිල් වූ දිය ගිනිගත් සිතුවිලි
නිවා දමන්නට සමත් නොවූවා සේය. මම නැගිට විද්‍යාගාරය දෙසට පා නැගුවෙමි. අපිරිසිඳු
මේසය මත පමණක් නොව කළාලය මතද සටහන් කොල විසිරී ඇත. මම බලාපොරොත්තු සහගත ඇසින්,
මේසය මත පණ අදින හුරුබුහුටි යන්ත්‍රය දෙස බැලීමි. ඉතා ඉක්මනින් මේ සියල්ල යථා
තත්වයට පත්වනු ඇති බව මගේ සිත මට පවසයි. මේ දැනෙන වෙහෙස මගේ මනසට තවදුරටත් දැරිය
නොහැකිය.
***
සියල්ල ඇරඹුණේ විශ්ව විද්‍යාල ජීවිතයේ අවසන් වසර කිහිපයේයි. සියල්ලන්ටම
මෙන් මගේ සිතටත් ආදරය දැනෙන්නට පටන් ගත් සැටි සිතුවමක් මෙන් මගේ සිතේ ඇඳී මැකී
යයි. ආදරය සුන්දර බව න්‍යායයක් ලෙස මා දනිතත් මගේ එම සුන්දර මතකයන් පිරි තණනිල්ල
වියලා දමමින් වේදනාවේ රළු ගිනිදැල් මා වටා බුර බුරා නගියි. සහසක් මිනිසුන් හැඬවූ
වියෝදුක මටද උරුම විනි. වරදකාරී හැඟීමකින් මගේ සිත කීරි ගැහෙයි. සිදුවීම් ප්‍රවාහය
බිඳහෙලා ඇය මවෙත රඳවා ගැනීමට තරම් ශක්තියක් මට නොමැති වීම ගැන මම දහස් වරක් ලත
වුනෙමි. ඇගේ රුව සිහිනෙන් දකිනා විට දරාගනු නොහැකි ශෝකයකින් මම ඉකි ගසමින් අවදි
වූයේ වරක් දෙවරක් නොවේ.. එසේ නොවූ දිනයන් කෙතරම් දුර්ලභ දැයි පැහැදිලි කිරීමට සමත්
නොවෙමි. මගේ දිනපොත පෙරලා බැලීමෙන් ඔබට එය යම් තරමක් තේරුම් ගත හැකි වේ යයි සිතමි.
මේ අඳුරු මතකයන්ගෙන් ඈත් වන්නට මා නොකල
දෙයක් නොමැති තරම්. සෑම ගීතයක්ම, සෑම කවියක්ම මා ගැන, ඈ ගැන ලියූවක් බව මට
දැනෙද්දී මම අසරණව බලා හුන්නෙමි. ඇගේ මතකයෙන් මිදෙන්නට කල අපමණ වෙහෙස මහන්සිය
යන්තමින් සාර්ථක වන ලකුණු පහල වූවා පමණි.. දිනක් මාගේ දුරකථනය නාද වීය.
“මං කතාකලේ මගේ අළුත් ජීවිතය ගැන කියන්න.. සමාවෙන්න මෙහෙම කියනවට. ඒත් මට
ඔයාට වඩා ගොඩක් හොඳ කෙනෙක් හම්බ වුනා. එයා ඔයා මට ආදරේ කලාට වඩා ගොඩක් ආදරෙයි මට..
ඔයාට වඩා හුඟක් හොඳට එයා මං ගැන හිතනවා. මං ඒ අතීතය ගැන දුක් වෙනවා. ඔයා ගැනත් මට
දුකයි. ඒත් මං අද ගොඩක් සතුටින්. ඔයටත් සතුටින් ඉන්න ලැබේවි.“
මගේ හදවත දෙදරා යන්නාක් මෙන් මට දැනුනි. මොළයේ සෑම නහරයක්ම හිරිවැටී මගේ
දෙනෙත් කඳුලින් පිරී ගිය සැටි ඔබත් දුටුවා නම්!
එදින සිට නැවතත් මගේ නිදි මනස තුළ ඇගේ රුව හොල්මන් කරන්නට විය. නින්දට
යන්නට බිය වුනෙමි මම. මගේ මොලයේ පිරී ඇති සෑම මතකයක් සමගම ඇගේ මතකය ගැටී මූසල වූ
නශ්ඨාවශේෂ ඉතිරි වනු දැක මම ඖෂධ වල පිහිට පැතුවෙමි. මගේ බිඳුනු හදවත සුවපත් කරන්නට
ඔබේ ඖෂධ පවා ප්‍රමාණවත් වුනේ නැති බව කියන්නේ සිත රිදවීමට නොවේ. මතකය මකා දමන්නට
හැකි කුමක් හෝ මාර්ගයක් තිබේදැයි මා ඔබෙන්
විමසූ වාර ගනන අනන්තයි. මා දන්නා දහම අනුව සිය දිවි හානි කරගැනීම පිළිතුරක් නොවන
බව දැන නොසිටින්නට මා ඒ අවස්ථාවත් උරගා බලන්නට තිබිණි.
මගේ සිතට යම් බලාපොරොත්තුවක් දනවන්නට සමත් වූයේ දිනක් උදෑසන විද්‍යාගාරයේ
මගේසහායිකාව අන්තර්ජාලයෙන් මට පෙන්වූ නවතම ජර්මන් පර්යේෂණ පත්‍රිකාවකි.
***

වෛද්‍යවරියකටත් වඩා කල සිට මා සමග පා සටහන් බෙදාගත් මගේ ලබැඳි මිතුරියක්
ලෙස වෛද්‍ය විෂය පරාසයෙන් ඔබ්බට පර්යේෂණ කරමින්, මතකය සම්බන්ධ මොලයේ මධ්‍යස්ථාන
තනි කරගන්නට මට ඔබෙන් ලැබුනු උදව් අමතක නොකරන්නට වුවමනා නමුත්, මගේ අඳුරු මතකයන්
සමග මට මේ සටන තවදුරටත් සිදුකල නොහැකි වීම නිසා මම ඔබෙන් සමාව අයදිමි. ඔබේ මතකය සහ
තවමත් හානි නොවූ මගේ සුන්දර මතකයන් ඉතිරි කරන්නට යන්ත්‍රයේ පද්ධතිය කේතනය කලමුත්,
සංකීර්ණ මොළය සමග මගේ ගණනය කිරීම් එතරම් සූක්ෂමව නිවැරදි නොවන්නට ඉඩ ඇත. මට සමා
වන්න. ඔබට ස්තූතියි!
***
වේලාව උදෑසන 4 පසුවන්නට ආසන්නයි. ගොදුරු සොයන වෘකයන් සේ ඇස ගසාගෙන සිටි ව්‍යාපාරිකයින්ගෙන්
මේ වනතෙක් බේරාගත් පර්යේෂණ සටහන් ගිනි වැදී අළුවී යනු මම බලා සිටිමි. ඉතිරි විය
යුතු මතකයන් පිළිබඳ මගේ ගණනය කිරීම් වාසනාවන්ත නොවන්නට, මේ යන්ත්‍රය පණ ගන්වන
මොහොතේ සිට මිනිත්තු 20ක් වැනි කෙටි කාලයකින් මගේ මතකයන් සියල්ල සදහටම මියැදෙනු
ඇත. කිසිවෙක් මෙහි තාක්ෂණය වරදට නොයොදන බවට සහතික වනු පිණිස පැය බාගයකින් මේ යන්ත්‍රයේ
මව් පුවරුව විනාශ වී යනු ඇත. ඒ වනවිට එය සෑදීමේ දැනුමද අනෙකුත් සියලු දැනුම් සමග
මගේ මතකයෙන් මියැදී තිබෙනු ඇත. මා සිතට වේදනා ගෙන දුන් ඇගේ රුව මට තවත් එක් රූපයක්
පමණක් වනු ඇත. අදින් පසු මම නැවත අළුත් ලොවක් දකිනෙමි. දහදිය මුගුරු හෙළමින්
බියකරු සිහින දැකීම තවදුරටත් නොවනු ඇත. මේ මගේ දෛවයයි. මා මේ ඉරණමට තනිවම මුහුණ
දිය යුත්තෙමි.
ඉන්ඩිකේටරයේ බල්බය කොළ පැහැයෙන් දැල්වෙයි. යන්ත්‍රය පණ ගැන්වී අවසානය. ඔබගේ
නම සහ ඔබ සේවය කරන වෛද්‍ය ආයතනයේ ලිපිනය ලියූ කවරයට මම මේ සටහන ඇතුලත් කරමි.
මෙතැන් පටන් මට සිදුවන කුමන හෝ ප්‍රතිඵලයක් ගැන ඔබවත්, මුළු ලෝකයවත් මා පණටත් වඩා
පෙම් කල ඇයවත් වරදකරුවන් නොවන බවට දිවුරමි. හිස වටා පැලඳි යන්ත්‍ර කොටස මැදින් මගේ
කාමරය මගේ නෙතට දැනේ. ඇගේ සුන්දර මුව මඬල අවසන් වතාවට මා මනස පුරාවට පිරී ඇඳී
යයි. ඉකි ගසන මගේ නෙත් පුරා ඇය වෙනුවෙන් නැගෙන අවසන් කඳුළු, මුහුන පුරා රූරා
වැටෙයි. ලුණු රස වියැකී ගිය එම කඳුළු වියලෙද්දී මගේ සිත සතුටින් පිරී යන බවක් මට
දැනේ. අළුත් මතකයන් සොයා යන මගේ අළුත් ජීවිතය මට මැවී පෙනෙන්නාක් මෙනි.
මතකයේ පුරා
සක්මන් කරන මගේ පෙම්බරිය.. ඉතින් ඔබට සදහටම ආයුබෝවන්!
*** ***
ඩයිනමයික් - DynaMic
Photos From:
1. http://us.123rf.com/400wm/400/400/tonobalaguer/tonobalaguer1111/tonobalaguer111100567/11149775-couple-in-love-back-light-silhouette-at-lake-sunset-full-length.jpg
2. http://www.buzzle.com/articles/tears-a-silent-expression-poem.html
ලස්සන කතාවක් !
ReplyDeleteස්තූතියි මධුරංග!
Deleteමලා!! සිඳු දිල්ට සපත්තුවක් දීලද??
ReplyDeleteඅම්මෝ සිඳුගෙන් මට ගුටිකන්න වෙයිද දන්නෙ නෑ!
Deleteඩයිනො, මට සාධාරණ සැකයක් මතු වෙනවා මේ ඇනෝ ගැන නම්. නැත්නම් කොහොමද මේ "දිල්" කෙනෙක් ආවෙ මෙතෙන්ට. ඇනෝ, බලාගෙනයි අපි ඔබ පසුපසින් !!!
Delete(((((ඩයිනාගෙයි සිඳුගෙයි සපත්තු කතාවක් නම් වෙනම තියනවා. ඩයිනො මතකද "සිඳුගෙ ලී සපත්තු"???)))))
කතාව නම් හොඳයි. ඒත් එච්චර තේරුනේ නැහැ
ReplyDeleteආහ්! අමතක කරන්න බැරි රුව වෙනම කෙනෙක්ගෙ.. වෛද්‍යවරිය ගොඩක් උදව් කල මිතුරියක්. එතන නේද පටලැවුනේ? තාම මම ලියනව එච්චර හොද නෑ, සමාවෙන්න.. ස්තූතියි හසිත..
Deleteඅහ් ඒක මිසක්! මොනවා උනත් ඔය වගේ යන්ත්‍රයක් හැදුවොත් උවමනා වෙන එකම කෙනා උඹ නෙමෙයි කියලත් ටිකක් හිතපන්
ReplyDelete:) ඒ කතාවත් සහතික ඈත්ත!
Deleteමිතුරු වෛද්‍යවරියගේ පිළිතුර
ReplyDeleteනුඹ මෑතදී ලියූ සෑම කවියක්ම, සෑම ගීතයක්ම , සෑම ලිපියක්ම ලියවුණේ ඈ නිසා බව මම දනිමි. ඒ පිළිබඳව පිළිවදන් නොදුන් මුත් ඒ සෑම දෙයක්ම මා අසා සිටියෙමි. කියැවූයෙමි. පාසල් වියේ පටන් නුඹ තැබූ සෑම පා සටහනක්ම හොඳින්ම දුටු මට නුඹ තුළ සිදු වෙමින් පැවතුන චිත්ත විපර්යාසය වටහා ගැනීමට වචන අවශ්‍ය නොවීය. නුඹට අනුව මේ ලොව ඇති ලස්සනම දෙනෙත ඈගේය. සුන්දරම සිත තිබුනේ ඈටය. එහෙත් මම නුඹෙන් මෙසේ විමසමි. නුඹේ කඳුලු නොදුටු ඒ සුන්දර දැසෙන් පලක් තිබේද. නුඹේ සිත දෙදරා යනු නොදැනුනු ඒ සුන්දර සිතෙන් පලක් තිබේද. නුඹේ ආදරය නොදැනුණු ඒ ආදරණීය සිතේ උණුසුමක් තිබේද.
සිය දිවි නසා ගැනීම යන කොන්ද පණ නැති ක්‍රියාව සඳහා නුඹගේ සිත යොමු නොවීම පිළිබඳව මා උදක්ම සතුටු වීමි. එහෙත් අද , මෙවන් තීරණයක් ගත් නුඹ පිළිබඳව දැන් මා සිතේ ඇති වන්නෙ කුමණ හැඟීමක් දැයි ඔබ දන්නෙහිද? පස් වසක මතකයක් නිසා , නුඹ සියල්ලන් අහිමි කරගත්තෙහිය. අප සියල්ලන්ට නුඹව අහිමි කළෙහිය. නුඹේ රූපය පමණක් මා හට , නුඹේ මවුපියන්ට , සොයුරියට හෝ නුඹට ආදරය කරන කිසිවෙකුට පළක් නැත.
නුඹේ සංවේදී සිත සමග රැඳුණු සෑම මතකයක්ම අපට වැදගත්ය. නුඹට වැදගත් ය.
නුඹ නුඹවම මරාදමා ඇත.
වසර විසි ගණනක සිත රැඳි මතක සියල්ලම මිහිදන් කොට, නුඹව අපට අහිමි කළ නුඹට මම දැන් වෛර කරමි. ආදරණීය මවුපියන්ට ආදරණීය පුතෙකු, සොයුරියට සෙනෙහෙමර සොයුරෙකු, මිතුරන්ට ලබැඳි මිතුරෙකු අහිමි කළ නුඹට මම වෛර කරමි. ඔව් සැබැවින්ම මම නුමට වෛර කරමි.
නිරන්තරයෙන් ධර්මයේ හැසිරුණත් නුඹ එය අවබෝධ කරගෙන නම් නැත.
හිතට වැදුනා... හරිම ලස්සනයි...
ReplyDelete