Friday, June 8, 2012

මේඝයන් මැද 02


මේඝයන් මැද  01






බිඟු පහසින් මත් වූ කුසුමන් තුටින් හිනැහේ. දසතින් ඇසෙන විහඟුන්ගේ නාදයෙන් සවන් පිරී යයි. සුවඳ හමන විකසිත කුසුමක් ලෙසින් මසිත විකසිතය. හිමිදිරියේ සිහිලද නොතකමින් මම ස්නානයට සූදානම් වෙමි. ආභරණ හා සළුපිළි ‍රැගත් සේවිකාවෝ දෙදෙන සිකිපිත් පසු පස ඇදෙන, උගේ පිළි කළඹ ලෙසින්  මා පසු පස ඇදෙති. කොතරම් සැප සම්පතින් අනූන වුවත් මේ නිදහස් රහිත ස්වභාවය නම් මගේ සිතෙහි එතරම් සතුටක් ඇති නොකරයි. එහෙත් මේ මාගේ මහ රජතුමාගේ සතුටයි. ඉදින්, ඒ සඳහා මා විරුද්ධ වන්නේ කෙලෙසද.


පොකුණු දිය මස්තකයෙහි පාවෙන ඇහැළ මල් පෙති දෙකක් දිය මත තරංග සමග තරඟයට මෙන් දඟ කරයි. රෑ පිපුණ සේපාලිකා මල් සුවඳක්ද තවම කොහෙදෝ සිට හමා එනු දැනේ. 


"උදුලා කුමරිය, දිය ස්නානයට කටයුතු සූදානම්" 


මාගේ ප්‍රමාදය දැකීමෙන්දෝ සේවිකාවක් මා අසලට පැමිණ පවසයි. මගේ සළු පිළි පසෙක තබා ඔවුනට සිය කාර්යයකට නික්ම යන්නැයි පැවසීමටද සිතේ.තනිවම දිය පීරා ගොස් පොකුණ මැද පිපී හිනැහෙන තඹුරු නෙළා ගැනීමට මම ප්‍රිය කරමි.එහෙත් එවැන්නකට ඉඩක් නැත.


         පොකුණට බසින පඩිපෙළ මත හිඳගන්නා මම දෙපා සරසන නූපුර උණා දමමි. මේ නූපුර රටාව මගේ මහරජතුමා සැබැවින්ම ප්‍රිය කරන රටාවකි. ඒ පිළිබඳව ඔහුගේ ඇල්ම සිහි වීමෙන් මා මුවග මදහසක් මැවෙනු මට දැනේ.එය මාගේ සේවිකාවන් දෙදෙනාගෙන සැඟවීමට අමතර වෙහෙසක් දැරීමට මට සිදු වේ. 


එක්වරම ඇසුන ළමා සිනා හඬකින් මගේ දැහැන බිඳේ. ඒ විදීෂ කුමරුන් බව අවටහා ගැනීමට මා හට ඒ දෙස  බැලීමට අවශ්‍ය නොවේ.


"නවතින්න කුමරුණි" විදීශ කුමරුන් පසුපස ගත ‍රැඳි සළුපිළි දණක් දක්වා ඔසවා ගනිමින් දිව එන ඔහුගේ කිරි මව නන්දා දකින විට මගේ මුවට නැගෙන්නේ වලක්වා ගත නොහී සිනහවකි. ඇගෙන් මිදී මා වෙතට දිව එන විදීශ කුමරුන් මා ගතට තුරුල් වේ. ඔහුගේ සිඟිති මුවගින් තවමත් ගලන්නේ කිරි සුවඳය. ගෙල ‍රැඳි රාජාභරණ ඒ මොළකැටි වතට බර වැඩි යැයි මට සිතේ.


"උදුලා කුමරිය සැරසෙන්නේ දිය ස්නානයටයි කුමරුණි, ඒ සඳහා ඉඩ දී අපි ආපසු යමු කුමරුණි"


කුඩා විදීෂ තවත් මා වෙත තුරුළු වේ.


"නන්දා ආපසු යන්න. " සිඟිති මුව උල් කරමින් ඔහු පිළිතුරු දෙයි.


"විදීෂ කුමරුන් මා සමග උන්නාවේ නන්දා" මා පවසන්නේ කුඩා දරුවාගෙ මුවට ගලා එන කිරි සිනා තවත් වැඩි කරමිනි.


විදීෂ අගබිසවගෙ පුතණුවන්ය.මාලිගය පුරා නිරන්තරයෙන් දිව යන ඔහුගේ දෙපා වලට විවේකයක් නැත.සියලු දෙනාගේ ආදරය දිනා ගත් ඔහුගේ විශේෂ ඇල්මක් දිනා ගත් කිහිප දෙනා අතරින් මම එක් අයෙක් වෙමි. 
"ඔබ කෙරෙහි මගේ ඇති ආදරය කුමරුවන්ටද දැනෙනවා ඇති" මහ රජතුමා ද එසේ පැවසුවේ වරක් දෙවරක් නොවේ. 
දඟකාරකම් නිසා ඇති වන තුවාල පෙන්වීමට, සිය මව සමග වන ආරවුල් පිළිබඳව පැමිණිලි කිරීමට, අවේලාවේ කුස ගිනි සිදු වූ විට ආදී බොහෝ අවස්තා වලදී ඔහු මා සොයා පැමිණේ.


"මේ කුමක්ද"? ඔහු අසන්නේ මා අතේ වූ නූපුර පෙන්වමිනි.


"ඒ නූපුර කුමරුණි"


"මට දෙනවාද?" මට සිනහ උපදින්නේ නිරායාසයෙනි.


"නූපුර පළඳින්නේ කාන්තාවන්. හැරත් කුඩා දරුවකු ඉන් කුමක් කරන්නද?"


නොපිට පෙරලුණු ඔහුගේ තොල්පෙති නොමනාපය කියා පායි.මම ඔහුගේ හිසකේ පිරිමදිමි.




"මට අර මල නෙලා දෙන්න"එවර නම් ඉ‍ටු කළ හැකි ඉලීමකි.මම සළුපිලි සමගින්ම පොකුණට බසිමි. නෙළුම් මල තව දුරය. දණට මදක් ඉහළට දිය පිරී ඇත.


"කුමරිය, මා මල නෙලා දෙන්නම්"සේවිකාව පවසන්නීය.


"නුඹ ගොඩට වී කුමරු පිළිබඳව විමසිල්ලෙන් සිටින්න" 


පොකුණු ගැට්ට මත ඇණ තබා ඉඳගත් විදීෂ කුමරුන් මා නෙළනා මල් දෙස ආශාවෙන් බලා සිටියි. සුදු ඕලු මල් දෙකක් සහ නිල්මහනෙල් මලක් මා නෙළා ගතිමි. කුමරුන් පෙන්වූ නෙළුම් මලට තව දුරය.පොකුණු පතුලේ සිටින මින් කැළ මා දෙපා කිති කවනු මට දැනේ. මම තවත් ඉදිරියට යමි.ගමේ ඇළ දොළ සියල්ලම පුරුදු මා හට මේ කුඩා පොකුණ බියජනක ස්ථානයක් නොවේ.


"විදීෂ........ " එක් වරම ඇසෙන හඬක් මා කලබලයට පත් කරයි.
නන්දාද කැ‍ටුව වහ වහා අප වෙත පැමිණෙමින් සිටින්නේ අග බිසවුන් වහන්සේය. ඇගේ මුහුණේ ස්වභාවය නම් එතරම් යහපත් නැත. මහත් වූ කෝපාග්නියකින් ඈ දැවෙන්නා සේය. 


"කුඩා දරුවා ත් ළඟ තබාගෙන නුඹ මේ කුමක් කරන්නේද උදුලා?" මා හට පහර දීමට බඳු පරුෂ බවක් ඇගේ හඬෙහි ඇත.


"මා සූදානම් වූයේ කුමරුන්ට මල් නෙළා දීමටයි බිසවුන්වහන්ස"


"යස මල් නෙලීම.... කුමරුනුත් පොකුණට බැස්සා නම්.........මගේ දරුවා මරා ගැනීමටද නුඹට අවශ්‍ය?"විදීෂ කුමරුන් අතින් ඇද ඇය තමා වෙතට ලං කර ගනීයි.


           ඔහුගේ දෙනෙතේ මතු වූ විශාල කඳුලු බිඳු දෙකක් සියුමැලි කම්මුල් ඔස්සේ ගලා යයි. රාජකීයත්වයටම ඔබින ගතිගුණ ඇති මේ සිවු හැවිරිදි දරුවා හඬ නගා හඬා වැලපෙනු මා දැක ඇත්තේ ඉතා අහම්බෙනි.මගේ දෑස්ද තෙත් වන්නේ ඉබේමය.මවකගෙන් දරුවකු උදුරා ගැනීමට මා හට අයිතියක් නැත. එසේ හෙයින් දෑස් වලට දුක් වන්නට ඉඩ දී මම හිස් බැල්මෙන් බලා සිටිමි. 


ආපසු හැරි හැරී මා දෙසත්, පොකුණ අසල වැටී ඇති මල් තුනත් දෙස බලමින් යන කුඩා කුමරුවන් පිළිබඳව මෙන්ම මා පිළිබඳවද සිතේ ඇති වන්නේ ශෝකයකි. නෙත් තුළ මතු වූ කඳුලු මටත් හොරෙන් ගලා යයි. සේවිකාවන් දෙදෙනා විමසිල්ලෙන් මා දෙස බලයි. මොහොතකට පෙර සිනා ඔවුන්ගෙන් වසන් කළ මම දැන් කඳුලු ඔවුනගෙන් වසන් කිරීමට උත්සාහ කරමි. 


දිය කෙළියට හෝ ස්නානයට දැන් සිතේ උනන්දුවක් නැත. යන්තම් මුව දොවාගන්නා මම ගොඩට පැමිණෙමි. 


       ආපසු පැමිණෙන පා ඔසවන මාගේ දෙනෙත් ඉබේම මාලිගය දෙසට යොමු වේ. මගේ නෙත ගැටෙනේ අනපේක්ෂිත දසුනකි. මහ රජතුමා සීමැදුරු කවුළුවෙන් මා දෙස බලාසිටියි.මැලවූ මුහුණින් යුතුව එත්මා දෙස කෙලින් බැලීමට අපහසුය. මම බිම බලා ගනිමින්ම එතැනින් පිය නගමි.සිදු වූ සියල්ල එතුමාද දකින්නට ඇත. එතුමාද මා පිළිබඳව උදහස් වේවිද.


අන්ත:පුර බිසවුන් දෙදෙනෙක් මා දෙස උනන්දුවෙන් බලා සිටිති. ඔවුන් සමග සුහද කතා බහක යෙදීමට තරම් සුදුසු මානසිකත්වයක් මා හට නැත.




"උදුලා බිසවට මහ රජතුමගෙන් පණිවුඩයක්" රජමාලිගයේ සේවිකාවක් කලබලයෙන් මා සොයා පැමිණේ. "හැකි ඉක්මනින් එහි පැමිණෙන්නට කීව"


        සිදුවන්නට යන්නේ කුමක්දැයි මා හට පැහැදිලිය. එහෙත් දැන් කිසිවක් වෙනස් කරලීමට නොහැකිය.විදීෂ කුමරුන්හට විස්තර කළ නොහැකි තරමේ ආදරයක් මිස ඔහුට හානියක් කිරීමට මගේ තුන් හිතකවත් අදහසක් නොතිබූ බව මම දනිමි. කුඩා විදීෂ ද ඒ බව දනියි. එහෙත් රාජ උදහසට සියල්ල යටය. රජතුමා මා හටා කොතරම් ආදරය කළත් සිය පුතණුවන් හමුවේ මා හිරු දු‍ටු පිණි බිඳක් පමණක් නොවේද.


    මටද අවසඟව පැකිලෙන දෙපා ඉක්මන් කරමින් මම මහරජතුමා කරා එළඹෙමි. 


     එතුමා පසෙකින් කෝපාග්නියෙන් දැවෙන දෙනෙතින් දෙනෙතින් යුතුව මදෙස බලා සිටින අගබිසවය. එතුමාගේ අතෙහි තවමත් මැලවුණු මුහුණින් යුතුව මදෙස බලාසිටින විදීෂ කුමරුන්ය. එතුමාගේ කාන්තිමත් තේජස් දෙනෙත් දෙස බලා සිටින්නට නොහැකිව මම බිම බලා ගනිමි.

-සිඳු-


7 comments:

  1. ලස්සන කතාවක්. බලමු ඉස්සරහටත්

    ReplyDelete
  2. කතාව ලස්සනයි සිඳු !!!

    ReplyDelete
  3. මහ රජතුමා උනාට වැඩක් නෑනේ, සෙල් ෆෝන් එකක් වත් තිබිල නැද්ද නිකන් සේවකයෝ අතේ එස් එම්එස් එවන්නේ

    ReplyDelete
  4. ඉතිරි ටිකත් දාන්නෝ , අපි හරි ආසාවෙන් බලන් ඉන්නවෝ ....

    ReplyDelete
  5. ලස්සන කතාවක්................

    ReplyDelete
  6. රජ කතාවක්.. නියමයි ලියමු ලියමු.. අන්තප්පුරයක් එක්ක කොහොම මේ රජවරු පන බේරාගෙන ජීවත් උනාද කියල අපිට හිතාගන්න පුළුවන් වෙයි මේක කියෙවුවාම..

    ReplyDelete
  7. උදුලා! සුන්දර ගැලපීමක්.. ඔයාගෙ මේ ලස්සන සිතුවිලි ගැන මං සතුටුවෙන්න අද ඊයෙක ඉදන් නෙමේ!

    ReplyDelete