Friday, August 24, 2012

හමා එන ස්වරයක...


විඩාවෙන් බරවූ මනසට ඒ නැගෙන්නාවූ සප්ත ස්වර පිනිබිඳු ඉසින්නාක් වැනිය. ඒකාකාරව ගලායන සිතිවිලි සමුදාය මොහොතකට දමනය කරන්නට ඒ බට දඬු කඩට හැකිවන්නේ එහි තිබෙන අපූර්වත්වයක් නිසා නොව එයට සුසුම් පොවන ඔහුගේ දක්ෂතාවය නිසාවෙන්මය. එදිනද මා බස් නැවතුම වෙත පැමිණියේ ඒ සුන්දර වස් දඬු රාවයට කන් දෙමිනි. මා දුටු ඔහු මොහොතකට වැයුම නතර කොට නිතර මදහසින් හැඩවුන දෑසින් බලා සිනහවක් පෑවේය. නැවතත් වැයුම. දින කීපයකට පෙර සිට දක්නට ලැබුන ඒ අපූර්ව චරිතය, වැඩ නිමකර බසයට පැමිණෙන කාගේත් සිත් ගත්තේත්, කිලිටි රෙදි කැබැල්ලට යහමින් කාසි එකතු වූයේත් ඒ වාදනයේ මධුර බව නිසාමද, නැතහොත් ඔහුගෙ මුවින් දිස්වෙන විවේකී නිදහස් බව හා සිනහව නිසාද යන්න මා සිතුවේ වරක් දෙවරක් නොවේ. අප සමග එකදු වදනක් කතා නොකලමුදු ඔහුගේ අභිනයන් ඔහු පිළිබඳව බොහෝ දේ පැවසුවේය.

“අද අළුත් එකක්. ටිකක් අහල ඊලඟ බස් එකේ යමු”
සුනන්ද පැවසුවේය.

“හා...” 
මම නැවතත් ඒ අපූර්ව මිනිසා දෙස බැලුවෙමි.

*****


දැනුනු වෙනස නිසා මම ප්රශ්නාර්ථයකින් යුතුවමය බස් නැවතුමට පැමිණියේ. 

“මොකද අද උරුවම් බාන්නේ? බටනලාව කෝ?” 
සුනන්දගෙන් විමසූයෙමි.

“මං එනකොටත් ඔහොමයි. බටනලාව කැඩිලා. ඔය ලේන්සුව උඩ තියෙන්නේ”
මට දැනුනේ දුකක්ද නැතහොත් අනුකම්පාවක්ද යන්න තෝරා බේරා ගැනීමට නොනැවතී මම ඔහු වෙතට පිය මැන්නෙමි.

“මාමා, බටනලාවට මොකද වුනේ?”
ඔහුගේ මුහුනේ සෑම විටම තිබූ මදහස අතුරුදන්ව ගොස් ඒ වෙනුවට අඳුරු බර වේදනාවක සලකුණු ආරෝපනය විය. මගේ සිතද කණගාටුවකින් පිරී යනු මට දැනුනි. කිසිත් නොදෙඩූ ඔහු ගැයුම නතර කොට බිම බලාගත්තේය. 

“උදය, ඔය මනුස්සයට ඉන්න දීපං! ”

මම මද සිනහවක් පා ආපසු හැරුනෙමි. ඔහුද යන්තමින් මදෙස බැලුවේය.
ඊලඟ දින කීපයේ ඔහුගේ මිහිරි තාල අප වෙත ඇසුනේ ගොරහැඩි උරුවම් බෑමක් ලෙසය. කෙමෙන් කෙමෙන් මිනිසුන්ගේ අවධානය ඔහු වෙතින් ගිලිහී ගියේ ඔහු ලෝහ කාසි කිහිපයක් සමග තනි කරමිනි. වෙනස් නොවූයේ ඔහුගේ දෙනෙතේ ඇඳුන විවේකී නිදහස සහ මදහස පමණි.

*****

ඊලඟ වැටුප් දිනය එනතෙක් බලා සිටි මම කඩිනම් ගමනින් බස් නැවතුම වෙත පැමිණියෙමි. ඔහුද මා වෙත සුපුරුදු සිනහව පෑවේය. ඔහුවෙත ගිය මම සාක්කුවට අතදමා සූදානම් කරගෙන පැමිණි ලියුම් කවරය ගෙන ඔහු අත තැබුවෙමි.

“අළුත් බටනලාවක් ගන්න”

ඔහුගේ දෙනෙත් කඳුලින් පිරී ගියද සිරිත් පරිදි නිහඬ බව මිස කිසිත් නොදෙඩුවේය.

“උදය උඹ ඔය මිනිස්සුන්ව නරක් කරනවා. කවුද දන්නෙ බොරුවක් කරනවද කියලා? ”

රැස්ව සිටියවුන් මුමුණනු මට ඇසුනි. ඔහුටද ඒ ඇසෙන්නට ඇත. බසයක් පැමිණියෙන් මම ඔහුදෙස බලා බසයට ගොඩ වූයෙමි. ඒ ආගන්තුකයාගේ සුපුරුදු මුහුණ දකින අවසන් දිනය ඒ යැයි මට ඒ මොහොතේ සිතුනේ නැත. එදායින් පසු ඔහු නැවත බස් නැවතුමේ දක්නට නොවීය. නිහඬ හුදකලාව මගහැරුණේ රැස්ව සිටියවුන්ගේ ආගිය තොරතුරු වලින් පමණි. ඔහු වංචාකරුවෙකු බවත් මවිසින් ඔහුගේ වංචාවන්ට අනුබල දුන් බවත් බස් නැවතුමේ කතා බස් වී කෙමෙන් කාලයේ සුළඟට හසුවී අමතක වී ගියේ අපි නැවතත් අපගේ ඒකාකාරී තරඟයට අවතීර්ණ වුනෙමු.

*****

අවුරුදු කිහිපයක් ගතවී ගියේය. වැලළී ගියා යැයි සිතූ මතකය යළි අවදි වූයේ මා බිරිඳ හා දරු පැටවුන් සමග කඩ සාප්පු අතර ඇවිද යන විටදීය. සුපුරුදු බටනලා හඬක්, සුපුරුදු තනුවක්.. මගේ සිත මටත් නොදැනීම ඒ මතක රූප මතු කලේය.

“එන්න යන්න, මං ඔය මනුස්සයව අඳුරනවා.”

මම කඩිනම් කලෙමි. මගේ සිත කුතුහලයෙන් පිරීගොසිනි. ජනාකීර්ණ වීදියේ තැනකින් ඒ වස්දඬු රාවය නැගෙමින් තිබිණි. එහෙත්! ඒ ස්වර නිකුත් වූයේ මා බලාපොරොත්තු වූ දෑසින් නොව පාදයක් අහිමි වූවද ජවසම්පන්නව ප්රබෝධමත්ව සිටි තරුණයෙක් වෙතින්ය. ඔහු වාදනය නවත්වා මදෙස බැලුවේය.

“සමාවෙන්න, මං හිතුවෙ මේ.. නෑ ඒක හරි... ”
මම හැරුණෙමි. බිරිඳ කුතුහලයෙන් යුතුව මවෙත බලමින් සිටියේය. දරුවන්ට ඒ ගැන වැටහීමක් නැත.

“මහත්තය කාවද බැලුවෙ? ”
“නෑ. මට පොඩි වැරදීමක් වුනා. ඔය තනුව මට පුරුදුයි. මං හිතුවෙ ඒ මාමා කියලා”
“මේ උදය මහත්තයද? ”

මගේ දෑස් විවර වූයේ හදගැස්ම වේගවත් කරමින්ය. බිරිඳ මගේ අත තදින් අල්ලා ගත්තේය.

“මල්ලි මාව දන්නවද? ”
ඔහු කෘතඥපූර්වක සිනහවකින් මට සංග්රහ කළේය. 

“මාමා මට මහත්තය ගැන කියල තියෙනවා. මහත්තය දුන්න සල්ලි වලින් තමා මේ බටනලාව අරං තියෙන්නෙ. මාමාගේ වාදනය ගැන උනන්දු වුන හැමදාම හිනාවුන කීපදෙනා අතර මහත්තයත් හිටිය කීවා. ජීවිතේ අන්තෙටම නැතිවුන මං දන්න හැටියට සිංදුවක් කියල හිඟා කන හැටි දැකල මා ගාව නතර වුනා. මට බටනලාව කියල දුන්නා. ඒ තනු කියල දුන්නා. කවද හරි මහත්තය හම්බුනොත් දෙන්න කියල මේ බටනලාව තියාගෙන හිටියා! ”

ඔහු මා අත තැබූයේ ඒ පැරණි බටනලාවය. මගේ දෑස් කෙමෙන් බොඳවී ගියේය.

“කෝ දැන් මාමා?”
ඔහුගේ දෙනෙත් බිමට බරවුනි. බිරිඳ මගේ අත තවත් තදින් අල්ලා ගනු මට දැනුනි.

*****

ඒ බිඳී ගිය බටනලාව නිහඬවම මා නිවසේ රැඳී ඇත. එයින් ඒ පුරුදු විවේකයේ, නිදහසේ ස්වර නැගෙන්නේ නැත. එහෙත් ඒ මතකය වරින් වර මා සිත හරහා හමා යයි. එවිට මම ඒ බටදඬු කඩ දෙස බලා ඔහු සමග සිනාසෙමි.

--------------- *** ---------------

- ඩයිනමයික් (DynaMic)

Photo From: http://farm1.static.flickr.com/59/225868956_8a2cdabe0a.jpg



21 comments:

  1. ලස්සන කතාවක් !
    මරු !
    මට හිතෙන විදිහට ඩයිනා මේ ලිපියක් ලියන්නේ සෑහෙන කාලෙකට පස්සේ. !

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මධුරංග.. ජීවිතේ යන්තරේ එක එක පැත්තට කැරකෙනවා.. අවිවේකී වුනා.. මේ කමෙන්ට් වලින් ලියන්න ලැබෙන ධෛර්ය සුලු පටු නෑ. ස්තූතියි!

      Delete
    2. ඔව් ඔව් අපි නොදන්නවයැ අවිවේකෙ තරම....!! ;-)

      Delete
  2. කාලයකින් කියවන්න ලැබුණ හොඳ කතාවක්! අපූරුයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! සතුටුයි මේ කොමෙන්ට් දැක්කම.. පුලුවන් තරම් ලියන්නම්.. ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න..

      Delete
  3. Replies
    1. නංගිලා අයියලා එහෙනම් කතා කියවන්නකො. ඔන්න අපි ගියා !!!

      Delete
  4. සහතික ඇත්ත.. හදවතට පොඩ්ඩක් nathara උණා වගේ දැනුන.. ඇත්තමයි.. ආයේ බොරු ඕනේ නෑනේ...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. අවංක අදහස රටක් වටිනවා සුදා සහෝ.. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට..

      Delete
  5. කාලෙකින් අසාවෙන් කියවපු කතාවක් ජය ...........

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි සචිත්!

      Delete
  6. ලස්සන කතාවක්..
    ලියන විදිහත් ලස්සනයි..
    සුහ පතනවා දිගටම ලියන්න සුන්දර අත්දැකිමි ජිවිතේට ලැබෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. සිතුවිලි සයුරට එහෙම දැනුනම් ඒක මට සතුටක්.. පුළුවන් හැම වෙලාවෙම ලියන්නම්.. ඔබටත් එසේමම වේවා!

      Delete
  7. කියවලා ඉවරවෙද්දී මගෙ හිතට මොකක්දෝ උණා.ලියලා තියෙන විදිය අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි තරු, මේක පොතේ ලියල ඉවරවෙලා මම ආයෙම කියෙව්වා. මගෙම ඇස් දෙකට කදුලු ආවා. මං ලියපු එක ලස්සනයි කියනව නෙමේ.. ඒත් මෙහෙම චරිත අපි අතර ඕන තරම් ඉන්නව නේද කියල හිතුනා. අපිට නොදැනීම, මුකුත් ප්‍රතිලාභයක් නොලබාම එයාලා ලෝකෙ ලස්සන කරනවා..

      Delete
  8. ගොඩාක් කාලෙකින් බ්ලොග් ලෝකෙ පැත්තෙ ආවෙ. අපේම බ්ලොග් එකත් මට මග ඇරුණනෙ. මම දන්නෙත් නැතුව කතාවකුත් වැටිලා. ලස්සනයි දිල්. හරි ලස්සනයි.

    ReplyDelete
  9. දිල්? ඒ කවුද? ඩයිනා ලමයො ඩයිනා! ඔයාගේ කසුප් රජ සුපුවත ලියනකම් අපි බලන් ඉන්නවා!

    ReplyDelete
  10. ඔන්න මමත් ආවා. මට මගහැරුනේ කොහොමද මේ බ්ලොගේ :/
    ලස්සනයි සංවේදී.
    සිදු අක්කිවනම් දන්නවනේ අපි :)
    ජය දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. වර්ණවත් කලාට..
      දිගටම ලියන්නම්.. පුලුවන් තරම් හොදට..
      ඇවිත් යන්න එන්න..

      Delete