Friday, September 14, 2012

මේඝයන් මැද 03



මේඝයන් මැද 02



"කුමක්ද සිදු වුණේ උදුලා...?"එතුමාගේ ස්වරය මා සිතූ තරම් ක‍ටුක නැත.

"සිදු වූ සියල්ල මා ඔබට පැවසුවා රජතුමනි" අගබිසවුන් මා මුව විවර කිරීමටත් පෙර පවසයි. ඇගේ වදන් වල , හඬෙහි ‍රැඳී ඇති හැඟීම් මා හට හොඳින් වටහා ගැනීමට හැකිය.


"නැවතත් එවැන්නක් සිදු වන්නට ඉඩ හරින්නට එපා උදුලා" එය රාජ අණකි.

"මේ දරුවව අප පණ සේ ‍රැක බලා ගත යුතුයි....."

මම බිමට නෙත යොමා සිටිමි. එතුමා මා හට බැන වැදුනා නම් සිතට දුකක් නැත. එහෙත් මා කෙරෙහි ඇති කරුණාව ආදරය සහ , මහත් වූ දරු සෙනෙහස ආදි සියල්ලක්ම කැටි වූ මෙම ස්වරය මා හට දරා ගැනීමට ඉතා අපහසුය. මා හට හැඬුම් එන්නට ආසන්නය. මම බිමට නෙත යොමා සිටිමි.


"රජතුමා කතා කරන විටත් පිළිතුරු නොදී සිටිනා අපූරුව.." අගබිසවගේ වදන් ඉතා රළුය.


"හොඳයි, දැන් ඉදුලා ට යන්න පුළුවන්" රජතුමා  ඔහුගේ ලයාන්විත ස්වරයෙන් එහෙත් තිර හඬකින් මා හට පවසයි. එතුමාටත් , බිසවටත් හිස නමා ආචාර කරන මම පියවර තුනක් ආපසු ගමන් කොට හැරී එතැනින් නික්ම යමි. මා දෑසින් කඳුලු වැගිරේ.බිසවගේ කෝපාවිශ්ට නෙත් මා ලුහුබඳිනවා විය යුතුය. කෙසේවත් මම ආපසු හැරී නොබලමි. ආපසු හැරී මහරජතුමා දෙස හෝ අගමිසව දෙස බැලීම අප වැන්නන් හට තරම් නොවේ. 


"උදුලා නැන්දා....." එහෙත් යන ඒ දයාබර හඬට මා ආපසු හැරී නොබලන්නේ කෙසේද? "අඬන්න එපා" 

එහෙත් මගේ කුඩා විදීශ කුමරුන් සැනසීමට මා හට ඒ මොහොතේ නොහැකිය. මගේ කොපුල් තව තවත් කඳුලින් සේදී යන අතරම මම එතැනින් හැකි ඉක්මනින් නික්ම යමි.

මා ආපසු හැරුණා පමණය. ඔහුගේ සිරුරේ මා හැපී බිමට ඇද නොවැ‍ටුණේ අනූ නවයෙනි. ඒ මහ සෙනෙවිතුමාය. කලබලය නිසා මා ගතෙහි හැපීම පිළිබඳව රජතුමා උරණ වේවිද... එහෙත් සෙනෙවිතුමාට ඒ පිළිබඳව වගේ වගක් නැත. වෙනදාට මා දු‍ටු වහා සුහදව සිනාසෙන ඔහු අද මා පෙරලීමට තරම් මා සිරුරේ ගැටී, නොදු‍ටුවා සේ යන අයුරු ! හැරත් මහ රජතුමා ඉදිරිපිට !


කුමක් හෝ ගැටලුවක් මතු වී ඇති ආකාරයක් ඔහුගේ හැසිරීමේ ඇත. ඔහු පසුපසින් ඇදෙන වියවුල් වූ පෙනුමැති මිනිසුන් දෙදෙනා නිසා මගේ සිතෙහි උපන් එම සැකය තහවුරු වේ.

බැලූ බැල්මට ඔවුන් රජ වාසල සේවකයන් විය නොහැකිය. එහෙත් සාමාන්‍ය ගම් වැසියන් නම්, කිසියම් උවමනාවකට පැමිණියවුන් නම් සෙනෙවිතුමා මාර්ගයෙන් ඔවුන් මහරජතුමා හමුවන්නේ ඇයි? ඔවුන් වරදකරුවන් ද විය නොහැක. එසේ වූවානම් මෙසේ නිදහසේ ඔවුන් හට පැමිණීමට අවකාශ නැත්තේය. ඔවුන් දෙදෙනා කවුරුන්ද. රජවාසල සේවකයන් නිතර දැක පුරුදු මට , ඔවුන් දෙදෙනාගේ දසුන නෙතට මෙන්ම සිතට ගෙන දෙන්නේ අමුත්තකි. සෙනෙවිතුමා අත තල්පතක් වැනි යමකි.

මෙය කිනම් පනිවුඩයක්ද. ඒ යහපත්, සුබදායී යමක් නම් විය නොහැක. මගේ නිරිඳානන් හට කරදරයක්ද. මෙහිම ‍රැඳී සිට සිදුවන සියල්ල බලා විමසීමට මා හට සිත් වේ. එහෙත් මා හට ඒ සඳහා ඉඩක් කොහිද. මම සෙමෙන් මගේ යහන් ගබඩාව වෙත පිය මනිමි. අගබිසවුන් වහන්සේ ද රජතුමානන් අත වූ විදීශ කුමරුන් ගෙන වෙනතකට යනු දිස් වේ.


සිත එකලාසයක් කරගත නොහැකිය. අගබිසවගේ කෝපය මා වෙත එල්ල වීමත්, ඊටත් වඩා මහසෙනෙවිතුමන්ගේ ස්වරූපයේ වූ බැරෑරුම් සහගත බව මගේ සිත චංචල කොට ඇත.


කුරුල්ලන් දෙදෙනෙකුගේ කලබලකාරී නාදයක් මා සවනට ගැටේ. මම කවුලුවෙන් එපිටට නෙත් යොමමි. වී කුරුල්ලන් දෙදෙනෙකු අතර ගැ‍ටුමකි. සාමාන්‍යයෙන් වී කුරුල්ලන් මෙසේ ගැ‍ටුම් ඇති කරගන්නවා මා දැක නැත්තෙමි... කියාගත නොහැකි තරමේ අනියත බියකින් මා සිත වෙලී යයි. අසල ගසක සිටින වඳුරන්ගේ කඨෝර නාදය ගෙන දෙන්නේ කනට යවුලෙන් අනිනවා බඳු හැඟීමකි.


***************************************************



මා පර්වතය මුදුනේය. යා යුතු මගක් නොපෙනේ. අසරුවන් සමූහයකගේ හඬ ඇසේ. දසතින් ඇසෙන්නේ මිනිසුන්ගේ විලාප නාදයයි. කිසිවෙකු මා අතින් අදිනවා මට දැනේ. මම ආපසු හැරී බලමි. ඒ මගේ මහරජතුමාය. පෙරදා සෙනෙහසින් බබලන දෙනෙත අද අඳුරුය. 
"එන්න උදුලා, පමා වන්නට වෙලාවක් නැහැ... අප මෙහෙන් පලා යමු............."
ඔහුගේ වදන් මට ඇසෙන්නේ බොහෝ ඈත සිට ඇසෙන්නාක් මෙනි. 
මගේ අතට සීතලක් දැනේ...... මම අත දෙස බලමි. එය ලෙයින් වැකී ගොස්ය. මා කෑ ගැසීමට උත්සහ කරමි. එහෙත් හඬ පිට නොවේ. 

"උදුලා අපි යමු..." රජතුමා මා සුරතින් අල්වා ගනීයි. ඔහුගේ අතෙහිද ලේ තැවරේ...


මා හට මගෙ අත ඔහුගෙන් මුදා ගැනීමට අවශ්‍යය.  එහෙත් මම ඔහු සමග දිව යන්නට සැරසෙමි.  එහෙත් ඒ සඳහා අවකාශ නොලැබේ. නොපෙනෙන හස්තයක් විසින් මා තල්ලු කරනවා මට දැනේ. ආපසු හැරීමට මා හට ඉඩක් නොලැබේ. රජතුමා සමගම මා පව්වෙන් පහලට ඇද වැටෙමි. මම හැකි වෙර යොදා කෑ ගසමි. එහෙත් විලාප හඬ මැද මගේ හඬ වියැකී යනු මට දැනේ..........


***************************************************

"උදුලා........ උදුලා....... කිමෙක්ද මේ විලාපය?"
මා දෙනෙත් විවර කර බලමි.

මේධා මදෙස බලා සිටියි.ඈ අන්ත:පුරයේ බිසවුන් අතරින් මගේ හිතවතියයි.

"මා නපුරු සිහිනයක් දු‍ටුවා"

"අවේලාවේ නිදාගත්තාම ඔවැනි දේ පෙනෙනවා"
මගේ සියොළඟ ඩහදියෙන් පෙඟී ඇත.


"මගේ සිතට මහත් බියක් දැනෙනවා මේධා?"


"හේතුවක් නැතිවම?"


"හේතුවක් නැතිවම නොවේ......" ඒ හැර යමක් ඈ හට පැවසීමට මා හට සිත් නොදේ


"එසේනම්?"


"නැත මේධා... කිසිවක් නැත.."


"කිමෙක්ද? නුඹේ සුපෙම්වතා අමනාපයෙන්වත්ද?" 

මගේ රජතුමා කෙරෙහි මා සිතෙහි ඇති ප්‍රේමය ඈ හට විහිළුවකි. රාජ අණින් මෙහි පැමිණියා මිස, එතුමා කෙරෙහි ප්‍රේමයක් මෙහි සිටින වෙනත් කිසිවෙකුට ඇති නොවන්නේ මන්දැයි මා හට නොවැටහේ. එතුමාගේ සංවේදී ආදරණීය සිත වටහාගෙන ඇත්තේ මා පමණක්මද?

අද රාත්‍රිය උදා වන තුරු මගේ සිත නො ඉවසිල්ලෙනි. මෙතුවක් මා සියල්ලන්ගෙන් වසන් කොට සිටි රහසක් එතුමා හට අද පැවසීම මගේ ආශාවයි. ඔහු ඉන් ඉතා තු‍ටු වන බැව් මා දනිමි. 


"සිහිනෙන් බිය වී කෑ ගැසූ නුඹේ මුවෙහි දැන් සිනහවක්........" මේධා පවසන්නේ නෝක්කාඩුවෙන්. "නුඹේ සිහි විකල් වී ඇති නම් රාජකීය වෙදා ලවා හිස කුඩිච්චියක් හෝ දමා ගනු වටීයි."

මම තවත් සිනහවෙමින් ඈ හට සෙමෙන් පහරක් ගසමි. සියල්ල මොහොතකට අමතක කර දැන් මා සිනා සෙමි.

මේධාගෙන් සිනහවක් නැත. ඒ වෙනුවට ඈ තුශ්නිම්භූතව ලෙසින් කවුලුවෙන් එපිටට නෙත් යොමා සිටියි. ඈ අනුව යමින් මමද එදෙස බලමි.


සිහි විකල්ව හිස කුඩිච්ච්චියක් ඇවසි වී අත්තේ මා හට නොවන බව අපේ දෑස් ඉදිරිපිටම දිග හැරෙමින් පවතීයි. අන්තපුර මාලිගය දෙසට සිහි විකල් වූ ලෙසින් දිව එන්නේ නන්දාය. මා හට තවත් පණිවුඩයක්ද? එසේ විය නොහැකිය. ඇගේ මුහුණින් ප්‍රකට වන්නේ බියට පත් වූ විලාසයකි.


"පණ බේරාගෙන පලයල්ලා......" ඒ ඇගේ හඬයි. සියලෝම ඈ වටා රොක් වෙති. මගේ දෙපා මා හට අවසඟව ඇති සෙයක් දැනේ.


"රජ මාලිගාවට සතුරු ආක්‍රමණයක්......." ඈ හට පවසන්නට ලැබුණේ එපමණකි. කිහිපදෙනෙකුම විලාප තබමින් එතැනින් දිව යති. ඒ පිළිබඳව තතු දැනගන්නට අන්‍යයන් යුහුසුළු වෙති. රාජකාරියද අමතක වූ මුර සෙබලුන් දෙදෙනෙකුද ඈ හට කන් දෙති. 

මා හට ඒ කිසිවක් ඇවසි නැත. මම මහරජතුමා බැහැදැකිය යුතුමය. මගේ දෙපා මටත් වඩා යුහුසුළු වේ.


සියල්ලෝම කලබලයට පත් වී ඇත. කඩි ගුලක් ඇවිස්සුනා බඳුය. වෙනදා බඳු ආචාරශීලී බවක් ඔවුන් කිසිවෙක් තුළ නැත. එකිනෙකාගේ ඇඟේ හැපෙමින් විවිධ දෙසට ඔවුහු දිව යති. මුර හේවායෝ ඔවුන් පාලනය කිරීම උදෙසා අසාර්ථක වෙහෙසක් දරති. මහ රජතුමා කොහෙද. එතුමාගේ කුටිය දෙසට මගේ පා ඉක්මන් වේ.


එතුමාගේ කුටිය අසල සිටින සෙබලුන් මාගේ ගමන වලක්වාලීමට වෙර දරයි. 

"මා හට එතුමා හමුවිය යුතුයි" මම උපරිම දැඩි ස්වරයෙන් පවසමි.

"ඈ හට පැමිණීමට ඉඩ හරින්න" එතුමා හට ගැ‍ටුම්කාරී සංවාදය ඇසී ඇත. මා කුටිය තුළට පිවිසෙත්ම මා නොසිතූ ලෙස එහි සිටි අග බිසව කුටිය හැර යයි. ඈ දෙස එක එල්ලේ බැලීමට මා හට ශක්තියක් නොමැත. එහෙත් වෙනදා මෙන් ඒ දෙනෙත් වල මා කෙරෙහි අකරුණාවන්ත බවක් නම් නොවේ. මතු වී ඇති සතුරු උවදුර ඇගේ දැඩි සිතද මුදු කොට ඇති සේය.


යහන්ගැබ කෙළවර වාඩි වී සිටින මහරජ තුමා මා දෙස බලා සිටියි. මා හට මගේ දෙනෙත් අදහා ගත නොහැකිය. ඒ කඩවසම් ලස්සන මුහුණ මා මින් පෙර කිසිදා නොදැන සිටි ලෙස අඳුරු වී ඇත. වෙනදාට මෙතැනම සිට මා වෙත යොමන නුරා බැලුම් අද ඔහු අසලකවත් නැත. මගේ මුව ගොලුවී දෙනෙතට කඳුලු පුරනු මා හට දැනේ.


"උදුලා......."


"රජතුමනි, කුමක්ද මේ සිදු වන්නේ?"


"මගේ පෙම්බර උදුලා.... මා බලාපොරොත්තුවෙන් සිටි සතුරු ප්‍රහාරයක්, බලාපොරොත්තු නොවූ අවස්ථාවක පැමිණෙමින් තිබෙනවා."


"අපි පලායමු රජතුමනි"

මා හට පැවසිය යුතු වෙනත් කිසිවක් සිතා ගත නොහැකිය.

"ඔව් උදුලා... එහෙත් මා නොවේ, ඔබ පලා යා යුතුයි.... ඉර හැරුණු පසුව ඔබ කිසිවෙකුගේ දෑසට නොපෙනී පලා යා යුතුයි. අනෙක් අන්තපුර ස්ත්‍රීන් ඔවුන්ගේ ගම්මාන වලට හැරලීමට මා මේ වන විටත් උපදෙස් දී හමාරයි.."


"කුමක්ද මේ සියල්ලෙහිම අරුත රජතුමනි? ඔබ තුමා සියල්ල අතහැර දමා දිවි පුදන්නටද සැරසෙන්නේ?" මගේ කඳුලු හැකි පමණ පාලනය කොටගෙන මා විමසා සිටිමි.


"නෑ උදුලා. මා දිවි පුදන්නේ නෑ. මා සටන් කරනවා. එහෙත් සතුරු සෙබලුන් අතින්, ඒ අහිංසක ස්ත්‍රීන් හට හානි වන්නට මා ඉඩ තබන්නේ නෑ. ඒ නිසයි අද ඉර හැරෙන්නට කලින් ඔවුන් පිටමන් කිරීමට මා කටයුතු යෙදුවේ......."


"එහෙත් මා හට ඔබ තනි කොට යා නොහැකීයි රජතුමනි. ඔවුන් ගියාවේ. මට ඔබතුමා සමග ‍රැ‍ඳෙන්න ඉඩ දෙන්න" මම ඔහුගේ දෙපා මුළ වැඳ වැටෙමි.


"නැගී සිටින්න උදුලා" මා නැගිටවා ගන්නා ඔහු මෘදුව මා වැළඳගනියි. "මේ මාලිගයෙහි මා හට වටිනාම වස්තූන් දෙකක් ඇත උදුලා. එකක් විදීශ කුමරුන්. අනෙක ඔබ. ඔබ දෙදෙනාටම කිසිවෙකුගේ අබමල් රේණුවක තරම් හෝ හානියක් වනවා දකින්නට මා හට නොහැකියි උදුලා. එසේ වුවහොත් සතුරන් අතින් මා මිය යන්නට පෙර මා ළය පැලී මිය යාවි...."


මගේ වදන් මා හට අවනත නැත. වදන් ගලා එන්නට නොහැකිවම මුවට වැට කඩුලු බඳ ඇත. දෙනෙත් උතුරා ගලා හැලෙන කැඳුලැලි නිසාදෝ  මගේ පණවත් බව කිසිවෙකු හෝ මගෙන් සොරාගෙන ගොස් ඇති බවක් දැනේ. මා හට මේ තරම් හඬන්නට හැකියාවක් ඇති බව මා මින් පෙර දැන නොසිටියෙමි. 

"මෙසේ නොහඬන්න උදුලා.... ඔබ ශක්තිමත් වී සිටීමයි මා හට ඇති එකම සැනසීම. හොඳින් සවන් දෙන්න උදුලා. තව නොබෝ වේලවකින් රාජසභාව ‍රැස්වෙනු ඇත. ඊට පෙර මා පවසන සියල්ලට හොඳින් සවන් දෙන්න. ඒ අනුව යමින් විදීශ කුමරුත් ‍රැගෙන මාලිගයෙන් පිටවන්න. මගේ උදුලා, මගේ විදීශව පණ මෙන් රකින්න......" මම අපහසුවෙන් කඳුලු වලකා ගනිමි.

"එහත් රජතුමණි අග බිසවුන් වහන්සේ...?"


"මේ ඇගේ තීරණය උදුලා. මා ඔබ විශ්වාස කරන්නේ යම් සේද, ඒ තරමටම ඈ විශ්වාස කරනව ඔබ විදීශ කුමරුන් ආදරයෙන් ‍රැක බලා ගන්න බවට. යම් හෙයකින් අපට අනතුරක් සිදු වුවහොත් ඔබ පණ මෙන් ඔහු රකින බව ඈ අදහනවා....."


"ඔබට එසේ වන්නේ නෑ රජතුමනි"


"අපි එසේ පතමු උදුලා. නමුත් මේ අවස්ථාවේ කළ හැකි වෙනත් කිසිවක් නැහැ..."


"මම ඔහුගේ දෙපා නමදිමි. මා හට නැවත් නැගී සිටීමට වාරු නොමැත.


"මගේ පෙම්බර උදුලා.... ඔබ මා හට දැක්වූ ප්‍රේමයේ නාමයෙන්, මා ඔබට දක්වන ප්‍රේමයේ නාමයෙන් , අප නැවත හමු වේවි. මතු සසරේදී හෝ අප නැවත හමු වේවි...."


******************************************************************


ඝණ වනාන්තරයේ මෙසේ ගමන් කිරීම අපහසුය. හමන් වෙහෙස නිසා කුඩා විදීශ නින්දට වැටී ඇත. මා ගතින් ඩහදිය බේරේ. දෙනෙතින් ගැලූ කඳුලැලි දැන් වියලී ඇත. ගම්මානයට තව බෝ දුරය. 


වනාන්තරය අතරින් මාහට දිස් වන මහා දුම් කඳ පෙනෙන්නේ කුමණ දිශාවෙන්දැයි මා දනිමි. මේ සා විසල් මාලිගයක් ගිනි තබන්නට සිත් දැඩි කරගත් සතුරන් කවරෙක්ද. ඔවුන් සිත් පිත් නොමැති අධමයන් විය යුතුය.


විදීශ කුමරුගේ සුසුමක් මගේ ගෙලට දැනේ. සිදුවන සියල්ලක නිනවුවක් නොමැති ඔහු තවමත් තද නින්දේය. 


එතුමාට සදා රහසක් වූ ලොවේ සියල්ලන්ටම හොරෙන් මා වෙතට පැමිණි තවත් ප්‍රාණියෙකු මගේ කුස තුළ සුව නින්දේ බව මා හට දැනේ. ඔහුගේ මොලකැටි හද ගැස්ම මට දැනේ. මා මගේ දිවි දෙවන කොට උතුම් ලෙස සු‍රැකි අප දෙදෙනාගේ ආදරයේ  ඒ ප්‍රතිඵලය , විදීශ කුමරුන් සේම මම දිවි දෙවන කොට සුරකිමි. මගේ හිමිසඳුන්  කොහේ හෝ සිට අප තිදෙන දෙස බලා සැනසෙනු ඇත. 



~නිමි~

4 comments:

  1. මේ කතාවේ නම් අගක් මුලක් මතක නෑ.. නිවී හැනහිල්ලේ මුල ඉඳලාම කියවන් ඇවිත් මොනවා හරි කියන්නම්කෝ..
    -තොටියා-

    ReplyDelete
  2. මේ කතාවේ නම් අගක් මුලක් මතක නෑ.. නිවී හැනහිල්ලේ මුල ඉඳලාම කියවන් ඇවිත් මොනවා හරි කියන්නම්කෝ..
    -තොටියා-

    ReplyDelete
  3. සිතන්නට දෙයක් ඇත. අලුත්ය.....නියමයි... දිගටම ලියන්න කථාවට ගැලපෙන නියම වචන සැට් එකක් ඇත.
    සුභ පතනවා !

    ReplyDelete
  4. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete