Saturday, March 31, 2012

සංගීත පන්තිය


ගොඩක් දවසකට පස්සෙ මටත් හිතුනා කතාවක් ලියන්න කියල.. මේක මේ සිඳුට පිළිතුරු මඩක් ගහන්න කරන කූට පෝස්ට් ඒකක් නෙවෙයි ඔන්න.. ඉස්කෝලෙ කාලෙ පුංචි මතකයක්..



පොඩි ඉස්කෝලෙ ඉඳල ලොකු ඉස්කෝලෙට ගිහින් ටික දවසකින් අපි සෞන්දර්ය විෂයයන් තෝරගන්න මහා කඩඉමට ආවා. චිත්‍ර නැටුම් සංගීතෙ ගැන අපි ගොඩක් දේවල් දැනං උන්නෙ නෑ. ඒත් නැටුම් කාමරේ බෙර තියනව කියලත්, සංගීත කාමරේ පියානෝ, බෙර (තබ්ලාවට තමා), ගිටාර් වගේ තව අමුතු අමුතු දේවල් ගොඩක් තියනව කියල දූසමාන ආරංචි ලැබුනා.. චිත්‍ර කාමරේ තියෙන්නෙ මොනවද කියල නං කව්රුත් දැනගෙන හිටියෙ නෑ. මම නං ඉතින් සංගීතෙට එකෙන්ම තනි කකුලෙන් හිටියෙ.. කොහොමත් සංගීතෙට පුළුවන්නෙ මාව හීලෑ කරන්න

දවස ආවා.. සෞන්දර්ය පීරියඩ් එකේ අපි කෙලින්ම දුවගෙන ගියේ සංගීත කාමරේට.. වහපු දොර ලඟට වෙලා වීදුරු අස්සෙන් ඇතුල බැලුවා.. පියානෝ එකක් කාමරේ ඈත කොනක තිබුනා.. මොන්ටිසෝරියෙදි දැකපු පියානෝ එකට පස්සෙ පියානෝ එකක් මගේ ඇස ගැටුනෙ එදා.. මගේ ඉහේ මලක් පිපුනා.. ලොකුම ලොකු කාමරේ බිම පැදුරු දාල, සර්පිනාවක් තබ්ලාවක් තාලම්පොටක් බිම තිබුනාඅපිට ඉවසුමක් නෑ ඇතුලට රිංගනකං.. 

ඔන්න සර් කෙනෙක් ආවා. දොර ඇරියා. ගාල කඩාගත්ත හරක් රැල වගේ, පහුගිය දවසක පොලොවෙන් මැණික් මතුවෙනව කියල පස්වලට පොරකාපු අය වගේ, අපි සර් වත් පෙරලගෙන දුවගෙන ගියා සර්පිනාව ලඟ වාඩිවෙන්න.. මමත් දුවගෙන ගියා කඟවේනාට වැඩිය පොඩ්ඩක් හෙමීට දුවන චීට වඩා ගොඩක් හෙමීට.. මං ඉතිං ඕවට එච්චර දක්ෂ නෑ. මං යනෙකාටසර්පිනාව වටේටම ලමයි වාඩිවෙලාමං පැත්තකින් වාඩි වුනා. හරි.. දැං සංගීතෙ උගන්වනකන් අපි බලාගෙන ඉන්නවා.. සර් කිව්වා මෙහෙම..  

පුතාලගෙ සංගීත පන්තිය කරන්නෙ මම නෙමේ.. ඔයාලගෙ ටීචර් ටික දවසක් නිවාඩු.. එයා එනකං මම තමා පන්තිය කරන්නෙ.. 

කව්රු කලත් මොකද සංගීතෙ උගන්නනවනං කියල අපිට හිතුනා. (ඒ පණ්ඩිතකං කියන්න ගියෙ නෑ)

සර් බෝඩ් එකේ සිංදුවක් ලිව්වා මෙහෙම..

මෙතන තිබුනු කඹේ කව්රු අරං ගියාදෝ //
අන්න අතන අත්තේ ඔන්චිලි බැඳ ඇත්තේ //
මෙතන තිබුනු කඹේ කව්රු අරං ගියාදෝ  (තව තිබුනා)

දෙපාරක් තුන් පාරක් අපිට තාලෙ කියල දීල දිගටම කියන්න කියල සර් ගියා.. අපි එදා පන්තිය ඉවර වෙනකං ඒක කිව්වා.. ඊලඟ දවසෙ එනකොටත් බෝඩ්එකේ ඒ සිංදුවමයි.. අයිය කෙනෙක් ඇවිත් ඒක අපිට කියන්න කිව්වාඑදාත් දවසම ඒක.. දැන් අපිට එපා වේගන ඇවිත්. ඊලග දවසෙවත් ඇත්ත ටීචර් වරේවා කියල හිතාගෙන හෙමීට පන්තියට ආව ගමන් (කවුරුත් දුවගෙන එන්න උත්සහ කලේ නෑ)  බැලුවෙ බෝඩ් එක.. අනේ එදත් ඒ සිංදුවමයිසර් පන්තියෙ හිටියා.. අපිට කියන්න කිව්වා.. තව පුරුදු මදි කියල අයිය කෙනක්ට බාරදීල ආයෙත් ගියා.. චිත්‍ර නැටුම් කරන ලමයි අලුතෙන් ඉගනගත්ත ඒව රහ කරකර කියනවා.. අපි කලේ, රට ගෙවෙනකං යටිමඩි ගහන ගමන්, කට ගෙවෙනකං රට හදනව කියල කෑ ගහන දේසපාලකයො වගෙ ඒ සිංදුවම ආයෙ ආයෙ කියපු එක තමාරෑට හීනෙන් පේන්න ගත්ත අඹ අත්තක කඹයක් එල්ලිලා තියෙනව (ඒ දවස් වල අපි පොඩි නිසා ඒ කඹේ සර්ව එල්ලල ඉන්නව දැක්කෙ නෑ!) අපිට සංගීතෙත් එපා වෙලා තිබ්බෙ.. පියානෝ එක ගාවටවත් අපිට යන්න බෑ. කිසිම සංගීත නාදයක් නෑ.. මේ සිංදුව දිගටම කිය කිය ඉන්නවට වඩා චිත්‍ර සර්ගෙ වේවැල් කසාය හොඳයි කියල හිතුනා..


ඔහොම සති දෙකක් විතර ගෙවිල ගියා.. උදේට ඉස්කෝලෙ එනකොට අපි සංගීත කාමරේ ගාවින් යන් නැතුව පන්තියට යන්න වෙන පාරක් හොයාගත්තා.. සංගීත පන්තියට නොයා චිත්‍ර පන්තියට හරි නැටුම් පන්තියට යන්න හරි අපි උත්සුක වුනා (කැන්ටිමෙයි හිස් ලැබ් එකෙයි හැංගිලා ඕමි ගගහ පීරියඩ් කට් කරන්න අපි පොඩි වැඩියි). දවසක් අපේ පන්තියට අලුත් මිස් කෙනෙක් ආවා.. සංගීතෙ කරන ලමයි අත උස්සන්න! (අපි අහුවෙයි ඕවට..) අපි අත ඉස්සුවෙ නෑ..  

මම තමයි පුතාලට  සංගීතෙ උගන්නන්නෙ.. අද අපි සංගීත පන්ති පටන් ගන්නවා.. සංගීතෙට කැමති අය යන්න සංගීත කාමරේට…  

අපි පොත් අරං දිව්ව එක පිම්මට. කොච්චර උත්සහ කලත් එදත් මට අහු උනේ මුල්ලක්. ටීචර් අපිට සරිගමපදනිස කියන්න කිව්වා… අපි උඩබිම බැලුවා.. මොන සරිගමපදනිස ද? අපි අර සිංදුව නං දන්නව ඇස් විතරක් නෙමේ කන් නාස ඕන එකක් වහගෙන කියන්න තරම්.. අපි එක එක්කෙනා ඉස්සරහට අරං කියන්න කිව්වා.. මිස් සර්පිනාව ගහනවා.. යාලුවො එක එකා ඉස්සරහට ගියා.  

ස… රි…. ග…. ම….  පුතා චිත්‍ර කරන්න ආස නැද්ද? මං කියනවට යන්නකො චිත්‍ර පන්තියට..  
ඊලඟ.. .... .......  ම්.... ඔයා හොඳයි.. අර මුල්ලෙ තියන පියානෝ එක ගාවට ගිහින් වාඩි වෙන්න..  
ඊලඟ... ස..රි.... පුතාගෙ අංග චලන හොඳයි.. පුතා නැටුම් පන්තියට යන්න.. ඊලඟ…  

මේ මගේ වාරෙ.. චිත්‍ර නැටුම් කරන්න මට ආසාවක් තිබ්බෙ නෑ.. කොහොමහරි තේරෙන්න ඕන කියල මං දන්න දහිරිය ඔක්කොම ටික දාලා පුලුවන් හයියෙන් කිව්වා.

සා.. රී.. ගා.. මා.. පා.. ධා… මොකද ළමයො බයවෙලා වගේඔච්චරහයියෙන් බෙරිහන් දෙන්න එපා.. මට කං ඇහෙනවා.. හරි අර පියානෝ එක ගාවට යන්නකො….

මම වර්ල්ඩ් කප් එක දිනපු ඉන්දියන් කාරයෙක් වගේ උජාරුවෙන් සන්තෝසෙන් පියානෝ එක ගාවම ගිහින් වාඩි වෙලා ආදරෙන් ඒ දිලිසෙන පියානෝ පැඩල් අතගෑවා


------------------------------- || -------------------------------

- ඩයිනමයික් (DynaMic)


(කතාවට හින්ද මෙහෙම ලිව්වට ඒ සර් සහ මිස් මං ගොඩාක් ගරු කරන, ගොඩාක් හොඳ හිතවත් ගුරුවරු.. කොහෙදි දැක්කත් අයුබෝවන් කියල මම ඒ ගුරු මව්ට පියාට ආචාර කරනවා!)

පොටෝ එක මෙතනින් - http://www.picturenation.co.uk/view/info/18566/Primary-school-classroom


Wednesday, March 28, 2012

අලුත් තෙල් ජාතියක්


මට හිතුනා අපේ මේ බ්ලොග් එක ටිකක් "මූඩි" වැඩියි කියලා. ඒ නිසා ඒ ගතිය හේදිලා යන්නත් එක්ක ලියන්න හිතුණා පොඩි කතාවක්. මම මේ කියන්න හදන සිදුවීම මගෙ ඇස් දෙකෙන් දැක්කා. ( දැක්කා වගේ තමයි ඉතින්). කොහොම වුණත් මගෙ මතු ආරක්ෂාව තකා, නම් ගම් කපා දාලා ලියන්න තමයි හිතුවෙ.


ඔයාල දන්නවාද දන්නෙ නෑ ඩයිනමයික්ව මාත් එක්ක මේ බ්ලොග් එක ලියන යාළුවා ව. නම කියන එක හරි නෑනෙ ඉතින්. කාට වුණත් ආත්ම ගරුත්වයක් කියලා එකක් තියනවනෙ.


ඩයිනමයික් මේ යාලුවා මම දන්න කාලෙ ඉඳන්ම හරිම ස්වීට්, ටෙඩි බෙයා කෙනෙක් වගේ. (මම හිතන්නෙ කවුරු කවුරුත් දන්නවා ඇති ටෙඩි බෙයාලා කියන්නෙ වලස් පැටවුන්ට කියලා
මොකද දන්නවාද, මෙයා කොන්ඩෙ කපන්නෙ අවුරුද්දකට දෙපාරයි, නැත්නම් එක පාරයි. 






හැබැයි ඉතින් කොන්ඩෙ කැපුවෙ නෑ කියලා මෙයාගෙ කොන්ඩෙ වැවෙන්නෙ අනිත් අයගෙ වගේ පහලට නෙමේ, ගුරුත්වාකර්ෂණයට විරුද්ධව අහස පැත්තට. ඒ නිසා මෙයාගෙ ඇත්ත උසට වඩා අඟල් 5ක් විතර උසට තමයි මෙයාව පේන්නෙත්. ( එතකොට අඩි 6 හමාරත් පනිනවා)


ඉතින් අපේ යාලුවා දවසක් කල්පනා කළා 


"මේක හරියන්නෙ නෑ..... මෙහෙම ගියොත් මාව තවත් උස යනවා...... මේ කොණ්ඩෙට මොකක් හරි කරන්න ඕනා" කියලා.


එහෙම හිතලා මෙයා ගියා සුපිරි වෙළඳ සංකීර්ණයකට. (ඇයි බාබර් සාප්පුවකට ගියෙ නැත්තෙ අහන්න එපා, එයා පුරුදු නැති වැඩ කරන්න හරි බයයි). එහෙම ගිහින් මෙයා රාක්කෙන් රාක්කෙට ගිහින් හොයනවා හොඳ ජෙල් එකක්, කොණ්ඩෙට ගාන්න. ඒත් ඉතින් ඒවාගෙ තියන අමු ද්‍රව්‍ය දැක්කම කොණ්ඩෙට ගාන්න නෙමේ, අතට ගන්නත් බයයි... ගොඩාක් ඒවාගෙ ඇල්කොහොලුත් තියනවා....එයා අමද්‍යපනෙ, ඒ නිසා කොහොමත් හෙයා ජෙල් ගාන්න වෙන්නෙ නෑ කියලා අන්තිමට තීරණය කළා.


ඒත් ඉතින් ප්‍රශ්නය තවමත් එහෙමමයි, කොහොමවත් උත්සාහය අත අරින්න බෑ.try and try, one day you can fly කියලා සුද්දා ත් කිවුවා ලුනෙ.
 ඒ නිසා මෙයා හිතුවා මොකක් හරි තෙල් ජාතියක් වත් ගන්න ඕනා කියලා. එහෙම හිතලා එක එක තෙල් ජාති අතට අරන් බැලුවා. ඔන්න අන්තිමට සිරා තෙල් එකක් හම්බුණා. 






සුවඳේ බෑ........ නිකම් බොන්න හිතෙන සුවඳක් ඒක. වෙළඳ සැලේ ඉන්න ලස්සන නංගිට හිනාවකුත් දාලා, සල්ලි දීලා මෙයා ඒ තෙල් බෝතලෙත් අරන් ගෙදර ගියා. ගිහින් අම්මා ටත් පෙන්නුවා. අම්මාත් ඉතින් හරි සතු‍ටු වුණා,මොකද පුතා ට තරුණ කාලෙ අන්තිම භාගයේදි හරි මනුස්සයෙක් වෙන්න හිතුණ නිසා. 


ඔන්න පහුවදාට එළඹුනා. ඩයිනම... ආ .. නෑ.. නෑ... වැරදුනා... ඔන්න පහුවදාට එළඹුනා. මගෙ යාලුවා උදේ වැඩට යන්න ලෑස්ති වෙලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලලා, තෙල් බෝතලෙන් ටිකක් අරන් අතට හලා ගත්තා.... ඒක ගොඩාක් උකුයි. සුවඳයි.  ඔලුවට දාලා පීරණකොට පුදුම ලස්සනට කොණ්ඩෙ පීරන්න පුළුවන්.


ඔහොම ලස්සනට කොණ්ඩෙ පීරගෙන මෙයා ගියා ඔ‍ෆිස්. ඒත් කවුරුත් එයා දිහා බලන්නෙවත් නෑ, වෙනදා වගේ තමයි. 


අපේ යාලුවාට ටිකක් හිතට හරි නෑ වගේ. කවුරුත් අලුත් වෙනස ගැන තේරුමක් වත් නෑ වගේ ඉන්නවා. ඇයි අප්පා, මේ තරම් ගාණක් දීලා ගත්තු තෙල් බෝතලේ!!! කෝකටත් කියලා මෙයා ගියා ඔ‍ෆිස් එකේ බාත් රූම් එක පැත්තට. 
අනේ.....!!!!! කොණ්ඩෙ පරණ විදියමයි. ඊටත් වඩා උඩට ඉස්සිලාද මන්දා. තරහයි, දුකයි එක්කම එයා ගෙදර ගියා. 


අම්මත් කියනවා "පුතා ඊයෙ ගෙනාව තෙල් එක නම් එච්චර හරි නෑ වගේ, ඔලුවට දාලා පැය කාලෙන් වේලෙනවා ඒක". යාලුවා සද්ද නෑ. 


පහුවදා ඊටත් වඩා තෙල් ගොඩාක් ගාගෙන ගියා ... වැඩක් නෑ...... කලින් ප්‍රතිපලේමයි. 


දාන්න ඕනා කොම්පැණියට නඩුවක්!!! එයා එහෙම හිතනවා. 


ඔ‍ෆිස් ඇරිලා ගෙදර ගිහින් බැලුවා තෙල් බෝතලේ කෝ කියලා. කොම්පැණියට කතා කරලාවත් පැමිණිලි කරන්න ඕනා කියලා හිතලා. වෙනදා ට කණ්ණාඩි මේසෙ උඩ දිළිසි දිළිසි තිබුණ තෙල් බෝතලේ නෑ... 
"කෝ මෙතන තිබුණු බෝතලේ?" එයා නංගිගෙන් ඇහුවෙ තරහෙන්. "ආ... ඒක මම බාත් රූම් එකෙන් ගිහින් තිබ්බා" නංගි ගාණක් නැතුව උත්තර දුන්නා.
"පිස්සුද ඒක බාත් රූම් එකෙන් තිබ්බෙ?"
"එහෙනම් වෙන කොහෙද තියන්නෙ?"
නංගිගෙ පණ්ඩිත කමට හිතෙන් බැන බැන ඩයිනමයික් ගිහින් බාත් රූම් එකේ තියන තෙල් බෝතලේ ගත්තා අතට ඒකෙ අඩංගු ද්‍රව්‍ය මොනවාද බලන්න. මෙන්න තියනවා sodium laureth sulphate, perfume,dimethlconol, lysine HCL,panthenolඑකී නොකී දේවල් ......... 
ඒත් oil කියලා කොහෙවත් නෑනෙ..........


ඔන්න එතකොට තමයි එයා දැක්කෙ ලොකු අකුරෙන් ඒකෙ ගහලා තියනව.....
.
.
.
.
.
.
.


SHAMPOO
කියලා..........


කොහොම හරි ඩයිනමයික් මගේ යාළුවා මාස ගාණකට පස්සෙ නෑවෙ එදා කියලා තමයි අහල පහල ගෙවල් වල උදවිය කතා වෙනවා ඇහුනෙ



Tuesday, March 20, 2012

වීදි කොනක

ඊයෙ පෙරේදා දවසක ගංගාරාමෙ ලඟඳි මම දැක්කා කුඩා දරුවෙක්ව. පාට පාට ඇඳුම් ඇඳ ගත්ත දරුවන්, පාලම දිගේ ඇවිදගෙන ගිය පෙම්වතුන් කලු කණ්ණාඩි දාගෙන ගිටිය විදේශිකයන්, අතර දුඹුරු පාටින් මට මේ දරුවා ව පෙනුනෙ. අපේ සමාජයේ අපේ ඇස නොගැටෙන , ඇස ගැ‍ටුනත් නොදැක්කා වගේ අපි අහක බලාගෙන යන, තවත් එක් සමාජ ස්ථරයක් ඔහු විසින් නියෝජනය කරනවා. ඒ සමාජයෙන් ඔහුව අහකට ගන්න නම් කරන්න පුළුවන් දේ බොහොමයි, නමුත් පැහැදිලිවම ඒක අමාරුයි.



විදුලිය වේගයෙන් කැරකී දිවෙත සක
මඩ නැහැවී යවයි වීදිය පුරා නෙක
ඒ මඩ පහර මවනා රළු රටා දැක
කඳුලක් මතු වීද නුඹෙ දෙනුවනෙහි සැක

උපනත් වීදි කොන මුල්ලක වැටී වැදී
පිතු සෙනෙහසක් නැත පුතු නාමයට පිදී
ලේ සම් වියැකිලා සැකිලක රුව පෑදී
පා ගෙවුනේද ගමනේ දිවි බරින් රිදී

රසමසවුලු තබා දන් බත් පතක් නැත
සා පවසින් මළත් දිය උගුරකුත් නැත
මන්දිර වල ඉඳුල් ලඟ ලත වෙවී හිත
පණ පෙවුනේ දිවිය කෙලෙසද සැකක් ඇත

සවනත වැකෙන රළු බස් ඉවසනවාද
අහිමිව සෙනෙහසක් සිත වැලපෙනවාද
දෙකොපුල් තෙමන කඳුලැලි නොම වියලීද
මවුපියො සොයා සිත ඉගිලී යනවාද

Sunday, March 11, 2012

නරුමයෙක් කුමරියට පෙමින් බැඳුනා...


ලෝකය විශාලයි.. එ නිසාම වෙනු හැකියි එකම දේ වුනත් නැවත නැවත සිදු වෙන්නේ.. ජීවිතය ආදරය ගැන එකම කතාව වෙනස් කාල රාමු තුල, වෙනස් දේශ රාමු තුල, වෙනස් රූපයන් සමග නැවත නැවත ඇහෙන්නේ.. ආදරය, ජීවිතය සිදුවීමක් විදියට හිතුවොත් සර්වකාලීනයි...


 

වැහි බික් නොම දැනුන රත් අහස වගේමැයි
සිසිලසක් නොම දුටුව රළු කතර ඔහු සමයි
ජීවිතේ අරුතකුදු නොදත්තෙකු පිය තබයි
දෙස් තැබුනි හැම මුවින්, නරුමයෙක්!

දෑ සමන් සුවඳ රැඳි හමන මද පවන ලෙස
පිනි මතට ළහිරු කැන් දිලෙන හිමිදිරිය ලෙස
ඔප වැටුන රුවන් ලෙස, රුවැති සුර දුව විලස
ආදරෙයි මුළු ලොවම, කුමරියක්!

ජීවිතය පුදුමයක් යන වදන සැබෑවකි
ආදරේ කඩොළු නැති නොවැටහෙන අරුමයකි
නෙක දනව් ඇවිද විත් හමුවීම අහඹුවකි
නරුමයා කුමරියට පෙමින් බැුනා...

නුබ පොළොව බැ‍‍‍‍‍ඳෙන විට විදිලි ගිගුරුම් මැවෙත්
ගිනි යබොර දිය වැදෙත පුපුරුවා දළු නැගෙත්
ඇගෙ ලොවට ඔහු වෙලෙනු දැක ලොවම එදිරිවෙත්
යළි වරක් නරුමයා තනිවුනා...

දිය පොදක ඉව වැටී විල් තෙරට පිය මනින
මල් රොනක රස දැනී මල් ගොමුවෙ බිු රැ‍ඳෙ
ලෙස ඔහුගෙ සිත පතුලෙ සංග්‍රාමයක සටන
ඇවිලිලා ඔහු තුලම නිමවුනා...

අතරමං තුරු පතරෙ පා ලකුණු දකින ලෙස
මැකී ගිය දිය කඳුර උල්පතින් පිරෙන ලෙස
ජීවිතේ සතුට දෙන අර්ථයක් සොයන ලෙස
සංසුන්ව නරුමයා පිටවුනා...
දුර ඈත සිතිජයේ සැඟවුනා...

 
- ඩයිනමයික් - DynaMic