Tuesday, May 1, 2012

සිහගිරි


පසුගිය දිනෙක සිහගිරි බලකොටුව අරා ඇවිද යාමට අවකාශයක් ලැබුනේ, වැළලී ගිය ඒ අතීත කතාවේ නටබුන් අතර සිත දිව ගියේය. කාශ්යටප රජ තම අණින් තම පියාගේ දිවි තොර කළේ යයි ඉතිහාසය අපට පවසයි.. සියලු සැප සපිරි ආලකමන්දාවේ සුව වින්දත් ඔහුගේ සිත ඒ පාප කර්මය ගැන වැලපෙන්නට නැතිද?  සිතින් පසුතැවෙන්නට නැතිද? ඒ සිත් අරගලය සීගිරි බිම පුරා මට මැවී පෙනුනෙන් ලියන්නට සිතුවෙමි කුරුටු ගීයක් ඔහු නමින්!


වියලුණු වා තලය ගිනිගෙන දැවෙනු වගේ
නිහඬව සුසුම් ලයි තුරුපෙල ගිනි සුළ‍ඟේ
වනපෙත මැදින් දිවෙනා වැලි අතුල මගේ
සුදු වැලි පවා සැඟවී ඉකි බිඳිනු වගේ


පාවඩ ඇතිරුවත් නැත බිම සුව සිසිල
මිරිවැඩි සඟල පැලඳූවත් නොමැත ඵල
කාශ්යැප නිරිඳු සිත තුල නැත සැනසිල්ල
නිරුවත් දෙපා මුල පෑගෙයි දුහුවිල්ල


සෙන්පති ඇමැති පිරිවර නිහඬයි තවම
නිරිඳුන් පා තබයි බලමින් නෙතින් බිම
දිය මල් පොකුණු උයනේ විසිතුරු මහිම
නිරිඳුගෙ නෙතට නොම පෙනෙනා අරුම කිම?


මහ දිය අගල ගැඹුරුයි නිහඬව නිදන
කිඹුලන් බියකරුයි දිය යට රජ කරන
ඇතුළු නුවර සුරැකියි මැණිකක් ලෙසින
කරුණ කිමද නිරිඳුගෙ හදවත පෙලන


කැටපත් පවුර කැටපත විලසින් දිස්වේ
නිරිඳුගෙ සිතේ චංචල බව එහිද මැවේ
බිතු සිතුවමේ බබලන අඟනන්ගෙ රුවේ
අඩුවක් දැනේ මෙතුවක් කල් නැති දුටුවේ


තුන් සිංහලේ බුහුමන් ලත් සිංහ රුව
සුවිසල් නෙතින් සිතිජය බලමින් තනිව
සිටිනා ලෙසින් නිරිඳුන් සෙල‘සුන් බරව
වෙහෙස නිවයි හිස් බවකිය පුරා මුව


අන්තඃපුරේ බිසවුන් වෙත නොමැත සිත
අබරණ රස බොජුන් රජ සැප පිරිය නැත
සීගිරි මුදුනෙ රජ මැදුරේ මධුර විත
අද නොම සොයයි නිරිඳුන් බිඳිලාද සිත


රැකවල් යොදා ඇතිමුත් සිහගිරි නුවර
නිරිඳුගෙ සිතට නොදැනේ රැකවල් පවුර
තම පියතුම මරා රජකම ගෙන පැහැර
අනතර පවකි කරගත්තේ මත රුහිර


තැනුනත් මල් උයන් මන්දිර පොකුණු වටේ
නැගුනත් සිගිරි බලකොටුවේ වරුණ රටේ
තම පියතුමගේ නෙත් යුග සිහි මැවෙන විටේ
නිරිඳුගෙ හදින් උණු කඳුලැලි ගලා වැටේ


පරුවත් මුදුනේ පොකුණේ තෙර අසුන සදා
පියතුම පිළිරුවක් ඉදිවුනි මලින් පුදා
හිමි බණ පදය නිරිඳුන් සිහි ගෙන රන්දා
දණ බිම ඔබා බුදු හිමි, පියතුම වැන්දා


                         ---
ඩයිනමයික් (DynaMic)


http://bentotaanuratours.com/heritage%20visit/sigiriya.html

5 comments:

  1. ලස්සන කවිය ඩයිනො. ඒත් මම කැමති නෑ කාශ්‍යප රජතුමා පීතෲ ඝාතකයෙක් කියනවාට. කවුද දන්නෙ මහාවංශ කතුවරයා බොරු ලිවුවද කියලා. මගෙ කවියත් බලන්නකෝ ලෝකයෙ කොනට ගිහින්. එතකොට තේරෙයි ඇයි මම කාශ්‍යප රජතුමාට මේ තරම් කැමති කියලා

    ඔයාගෙ කවියෙ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ. ස්තූතියි මටත් මගෙ පරන ලියපු කවිය මතක් කළාට

    ReplyDelete
  2. රජතුමා පීතෲ ඝාතක වෙන්නත් පුලුවන් නොවෙන්න පුලුවන්. අපි එයාගේ හොඳ පැත්ත ඒ කියන්නේ සීගිරිය අලංකාර උද්‍යානයක්, මාළිගාවක් කරවපු එක ගැන කතා කරමු. ඒ මදැයි හොඳටම

    ReplyDelete
  3. ඒක ඇත්ත සිඳු, හසිත.. කාශ්‍යප රජතුමා දිහා ගොඩක් අය බලන්නෙ පියාව මරපු නරුමයෙක් දිහා බලන විදියට.. ඒ වැරැද්ද කලාමයි කියමුකො.. කාශ්‍යප රජතුමා අනන්ත වාරයක් ඒ වරද ගැන පසුතැවෙන්න ඇති.. අලුතෙන් ජීවිතය පටන් ගන්නත් ඇති.. දහස් වරක් මනසින් පියාගේ පාද නමැදල සමාව ඉල්ලන්න ඇති.. දහමට නැඹුරු වෙලා පින් පෙත් පුරන්නත් ඇති..

    කාශ්‍යප කලා කාරයෙක්... එහෙම කෙනෙක් ගලක් වෙන්න බෑ... නටබුන් දකිද්දි එහෙමයි හිතුනෙ.. ඒ නිසයි හිතුනෙ දළඳඬු මිනිහෙක් දිහා බලනව වගෙ නොබල, ජීවිතේ තැනක වැරදුන ඒ ගැන පසුතැවෙන අසරණ කෙනෙක් විදියට රජු දිහා බලන්න...

    ඒ අදහස් මතුකරපු සිඳු, හසිත, ඔබට තුති!

    ReplyDelete
  4. හසිත මල්ලි කියපු කතාවට මම එකඟයි. සීගිරි කාෂ්‍යපව අපි හදුන්වන්නේ පීතෲ ඝාතකයෙක් විදිහට. ඒ උනාට ඒ රජතුමා දක්ශ නිර්මාණය කරපු බව වත් අපි හිතන්නේ නෑ.

    ReplyDelete
  5. Harima Lassana kawi panthiya... Api hamoma danna deyak wenas widiyakata hithata danenna liyala thiyenawa. kashyapa ge hithe athi unu hageem gana liyawila thiyenne bohoma aduwen... Eka mohothaka unu waradeemak mulu jeewithayama pasu thawillakata hethu wena hati apuruwata liyawila thiyenawa.

    ReplyDelete