Wednesday, May 30, 2012

මේඝයන් මැද 01


ඇට්ටේරියා මල් සුවඳක් තුරුළු කරගත් මඳ පවන් රොදක් සිරියහන් ගබඩාවේ වරින් වර සක්මන් කරයි. කවුළුව අතරින් පෙරී එන සඳ එළියද සිහිලැල්ය.නිශාන්තයේ සුන්දර නිහඬතාවයේ ගිලී සිටින මට ඇසෙන්නේ ඔහුගේ සුසුම් වල රිද්මය පමණි. ඒ සවිමත් උරතලයේ උණුහුමින් රාත්‍රියේ හිරිගඩු පිපෙන සීතල මා කෙරෙන් පළා ගොස්ය. සෙමෙන් දෙනෙත විවර කර මම ඔහු දෙස බලමි. ඒ දෙනුවන් තවමත් විවරය.මුවග දැවටී ඇති මන්දස්මිතයේ ඡායාව සඳ එළියෙන් මා හට මනාව දිස් වේ.


"උදුලා, නිදි නැතිද?" ඒ හඬ මා සවනතට මිහිරකි.


"ඔබතුමාත් තවමත් අවදියෙන්"


"ඒ ඔබ නිසා, ඔබේ ආරක්ෂාවට." මා මුවගට හස‍රැල්ලක් එක් වේ.එවැනි වදන් මම හොඳින් හඳුනමි. ඒ සම්පූර්ණ සත්‍යය නොවේ. හුදෙක් මා සිත ප්‍රමුදිත කරනුවස් , ඔහුගේ සිතෙහි ඉපිද මුවින් ගිලිහෙන ප්‍රේමණීය වදන්ය.


"ආරක්ෂාවට රජ සෙබලුන් සතර දිශාවේම. ඉතින් ඔබතුමා අවදියෙන් සිට කුමක් කරන්නද?"


"ඔවුන් සිටින්නේ මගේ ආරක්ෂාවට. මා සිටින්නේ ඔබේ ආරක්ෂාවට........." ඔහුගේ දෑඟිලි මා සවන් පත් කිති කවයි. මම තවත් ඒ උණුසුමට තුරුල් වෙමි.


"එය නම් සැබෑවක්. නමුත් අද නම් ඔබ තුමා අවදියෙන් සිටින්නේ ඒ නිසාම පමණක් නොවේ."


"නො එසේනම්?"


"ඒ ඔබතුමා අද වෙනදාට වඩා සතුටින් නිසා"


"උදුලා ට හදිසියේම එසේ සිතුණේ?"


"හදිසියේම පහල වූ සිතිවිල්ලක් නොවේ මහරජතුමණි,මේ සිරියහන් ගබඩාවට පා තැබූ මොහොතේ පටන්මයි මා හට එය අවබෝධ වුණේ."


"ඒ කෙලෙසින්ද?" සයනයෙන් මදක් ඉහලට එසවුණු ඔහු මා දෙස බලා සිටියි.


"ඔබතුමාගේ සෑම සුසුම් පොදක්ම මා හොඳින් හඳුනනවා....... රාජකීය වීණා වාදකයා ලවා ඔබතුමා වාදනය කරවන සෑම ස්වරයක්ම මා හඳුනනවා.......... ඔබතුමාට ඇසෙනවාද, දැන් වාදනය වන රාගය? එය ඔබතුමා ප්‍රීතියෙන් පිනා ගොස් සිටින බවට හොඳම සාක්ෂියයි ඒ.


නැවතත් ඒ මුවග මදහසකි.දෙනෙත් කාන්තියෙන් දැල්වේ.
"ඔබ හරි උදුලා. ඔබට හිතන්නට පුළුවන්ද ඒ සඳහා හේතුව?"


"මා සිතන්නේ මා ඒ සඳහා හේතුවත් දන්නවා......"
සිරියහනෙන් බැස මම කවුළුව අසලට පිය මනිමි. සුදු සඳ එළිය දැල්වී ඈත අනන්තය තෙක් දිවෙන වන ගැබ රිදී පැහැයෙන් සුදිලේ. ලෝකය එක යායට ඇද හැලෙන රජත වන් ගංගාවක් සේය. තැනින් තැන දැල්වෙන පන්දම් ආලෝකයෙන් උද්‍යානය අලෝකමත් වී ඇත. අහසට විසිරෙන වතුර මල්, සිසි කිරණ හා එක් වී කෝල කරන්නේ අපූරු දසුනක් මවමිනි. 
ඔහුගේ සුසුමක පහස මට නැවතත් දැනෙයි. ඒ ඝණ ‍රැවුළ මගේ සවන් පත් නැවතත් කිති කවයි. 
සළුවෙහි කොණක් ගෙන මම හිස වසා ගනිමි.


"ඉතින් උදුලා, ඔබ තවමත් ඒ සඳහා හේතුව කීවේ නැහැ." ඔහු නැවතත් හිස වැසූ සළු පට ඉවත් කරයි.


"ඊට හේතුව ඇත්තේ රජතුමණි මේ මාලිගයට පහලින්...."


"රජ මාලිගයට පහළින්?"


"ඔව් රජතුමනි, මේ පර්වත මස්ථකයේ සිට බඹ ගණනාවක් පහළින්."


"ඔබගේ ඇතැම් බස් මට වටහා ගැනීමට අපහසු තරමට ව්‍යක්තයි උදුලා"


"ඔබතුමාගේ සිතැඟි පරිදි බිතු සිතුවම් ගණනාවක් මේ රජ මාලිග පවුව වටා සිතුවම් කර අවසන් වූ අද දින ඔබතුමා සතුටින් සිටින බැව් පවසන්න වෙසෙස් නුවණක් අවශ්‍ය නැත මහ රජතුමණි."


"ඔබ හරි උදුලා... බොහෝ කාලයක සිට මගේ සිතේ තිබුණු ආශාවක් එය. ඔබ නම් ඒ සිතුවම් වලට එතරම් මනාපයක් නැති බවයි මුල සිටම මට හැඟී ගියේ..."


"නොමනාපය නොවේ රජතුමණි, එහෙත් කිසියම් ඊර්ශ්‍යාවක් වැනි හැඟීමකින් මගේ සිත පෙළුණු අවස්ථා නැතුවාම නොවේ. ඔබතුමා මටත් වඩා ඒ සිතුවම් වලට, ඒ ලලනාවන්ට ප්‍රේම කරනවදැයි හැගීමක් මා සිතෙහි උපදියි."


මගෙ පිළිතුර බොලඳ වැඩි යයිද නො එසේනම් නුසුදුසු යයිද මා හට හැඟීමක් නැත. එහි ගැබ් වූයේ හුදෙක් ඒ සිතුවම් පිළිබඳව මා සිත තුළ ඇති වූ සත්‍ය හැඟීමය. වරෙක රන් වන් පැහැයෙන්ද, තවත් වරෙක අඳුරු පැහැයෙන්ද වර්ණ ගන්වා ඇති ලඳුන් සැබැවින්ම අලංකාරය. රාජකීය සිත්තරුන් ලවා මාගේ මහ රජතුමා විසින් සිතුවම් කරවන ලද එම රූප මාලිගය පුරා බොහෝ කතා බහට ලක්වූ කරුණක් විය. අන්ත:පුරය පුරාම තරමක නොපහන් හැඟීම් ජනිත කළ එම සිතුවම් මා හට නම් සිහිපත් කරන්නේ මාගේ නිරිඳාගේ කලා කාමී ආදරණීය සිතය්.


"උදුලා, යමෙක් ස්ත්‍රියකට දක්වන ප්‍රේමය සහ කලා කෘතියකට දක්වන ඇල්ම සමාන යයි ඔබ සිතන්නේ කෙලෙසින් ද?" මේ තේජස් වී කටහඬට ද මම මේ රුවට ඇළුම් කරන්නාක් හා සමානවම ඇළුම් කරමි.


"ඔබ තුමා ඒ සිතුවම් වලින් පිළිබිඹු කළේ මාලිගය සැරසීමට මල් ‍රැගෙන එන ස්ත්‍රීන්ව ද?"


"ඔබට එවැනි අදහසක් පහළ වූයේ කෙලෙසද උදුලා?"


"ඔබතුමා ඒ මල් ගෙන එන ළඳුන් දෙස නොයෙක් වර බලා සිටිනවා මා දැක තිබෙනවා"


"මා බලා සිටින්නේ ඔවුන් දෙස නොවේ උදුලා. ඒ දැත් වලින් මැවෙන අලංකාර මල් රටා දෙසයි."


තව දුරටත් සිත්තම් වල සිටින්නේ කවරෙක් දැයි ඇසීමට මගේ සිතට ශක්තියක් නැත. ඔහු මගේ රටේ රජතුමා ය. මා පිළිබඳව කොතරම් ප්‍රේමයකින් වෙලී සිටියත්, මගෙන් පසුව කිසිදු යුවතියක අන්ත:පුරයට කැඳවාගෙන නාවත් , මා ඔහුගේ අන්ත:පුර මෙහෙසියක පමණක් වෙමි. 


එහෙත් අන් සියල්ලන්ටම වඩා ,ඇතැම් විටෙක අගමෙහෙසියට ද වඩා , ඔහු මා හට පානා සෙනෙහස මගේ හුස්ම වැටෙනා තුරු මට ප්‍රමාණවත්ය.
මේ උණුසුම් දෙඅත් මැද මම ජීවිතය විඳිමි.


පහන් තිර නිවී යාමට ආසන්නය. රාත්‍රිය තව දිගුය. එහෙත් සඳ එළියෙන් නැහැවුණු සිරියහන් ගැබට වෙනත් පහන් ඇවසි නැත. ඔහුගේ නෙත් පහන් දෙකෙහි කාන්තිය මා හට ප්‍රමාණවත්ය.





(සිඳු සටහන් තබයි.....
බොහෝ කාලයක් තිස්සේ සිතේ තිබුණු ආශාවක් ඓතිහාසික චරිතයක් අලලා යම් කිසි නිර්මාණයක් කිරීම. මේ ඒ සඳහා ගත් පුංචි උත්සාහයක්. 
පවසන්නට තවත් බොහෝ දේ උදුලා හට ඇති. ඒ සඳහා තවත් දිනයක ඈ පැමිණේවි.......)

Friday, May 11, 2012

අකුරු නැතිව කියවමු !


මතකද මේ මාතෘකාවෙන් පාඩමක් තිබුණා පොඩි කාලෙ සිංහල පොතක? 


මේ නම් ඊට වඩා වෙනස් කතාවක්. මේ තියෙන්නෙ අපේ ගෙදර පිපිලා තිබුණ රෝස මලකට දවස් 5ක් හෝ 6ක් ඇතුළත වුණ දේ. 


මොකද හිතෙන්නෙ? ඒ ගැන මම අකුරෙන් ලියන්න ඕනෙ නෑ නේද?











-සිඳු-

Tuesday, May 1, 2012

සිහගිරි


පසුගිය දිනෙක සිහගිරි බලකොටුව අරා ඇවිද යාමට අවකාශයක් ලැබුනේ, වැළලී ගිය ඒ අතීත කතාවේ නටබුන් අතර සිත දිව ගියේය. කාශ්යටප රජ තම අණින් තම පියාගේ දිවි තොර කළේ යයි ඉතිහාසය අපට පවසයි.. සියලු සැප සපිරි ආලකමන්දාවේ සුව වින්දත් ඔහුගේ සිත ඒ පාප කර්මය ගැන වැලපෙන්නට නැතිද?  සිතින් පසුතැවෙන්නට නැතිද? ඒ සිත් අරගලය සීගිරි බිම පුරා මට මැවී පෙනුනෙන් ලියන්නට සිතුවෙමි කුරුටු ගීයක් ඔහු නමින්!


වියලුණු වා තලය ගිනිගෙන දැවෙනු වගේ
නිහඬව සුසුම් ලයි තුරුපෙල ගිනි සුළ‍ඟේ
වනපෙත මැදින් දිවෙනා වැලි අතුල මගේ
සුදු වැලි පවා සැඟවී ඉකි බිඳිනු වගේ


පාවඩ ඇතිරුවත් නැත බිම සුව සිසිල
මිරිවැඩි සඟල පැලඳූවත් නොමැත ඵල
කාශ්යැප නිරිඳු සිත තුල නැත සැනසිල්ල
නිරුවත් දෙපා මුල පෑගෙයි දුහුවිල්ල


සෙන්පති ඇමැති පිරිවර නිහඬයි තවම
නිරිඳුන් පා තබයි බලමින් නෙතින් බිම
දිය මල් පොකුණු උයනේ විසිතුරු මහිම
නිරිඳුගෙ නෙතට නොම පෙනෙනා අරුම කිම?


මහ දිය අගල ගැඹුරුයි නිහඬව නිදන
කිඹුලන් බියකරුයි දිය යට රජ කරන
ඇතුළු නුවර සුරැකියි මැණිකක් ලෙසින
කරුණ කිමද නිරිඳුගෙ හදවත පෙලන


කැටපත් පවුර කැටපත විලසින් දිස්වේ
නිරිඳුගෙ සිතේ චංචල බව එහිද මැවේ
බිතු සිතුවමේ බබලන අඟනන්ගෙ රුවේ
අඩුවක් දැනේ මෙතුවක් කල් නැති දුටුවේ


තුන් සිංහලේ බුහුමන් ලත් සිංහ රුව
සුවිසල් නෙතින් සිතිජය බලමින් තනිව
සිටිනා ලෙසින් නිරිඳුන් සෙල‘සුන් බරව
වෙහෙස නිවයි හිස් බවකිය පුරා මුව


අන්තඃපුරේ බිසවුන් වෙත නොමැත සිත
අබරණ රස බොජුන් රජ සැප පිරිය නැත
සීගිරි මුදුනෙ රජ මැදුරේ මධුර විත
අද නොම සොයයි නිරිඳුන් බිඳිලාද සිත


රැකවල් යොදා ඇතිමුත් සිහගිරි නුවර
නිරිඳුගෙ සිතට නොදැනේ රැකවල් පවුර
තම පියතුම මරා රජකම ගෙන පැහැර
අනතර පවකි කරගත්තේ මත රුහිර


තැනුනත් මල් උයන් මන්දිර පොකුණු වටේ
නැගුනත් සිගිරි බලකොටුවේ වරුණ රටේ
තම පියතුමගේ නෙත් යුග සිහි මැවෙන විටේ
නිරිඳුගෙ හදින් උණු කඳුලැලි ගලා වැටේ


පරුවත් මුදුනේ පොකුණේ තෙර අසුන සදා
පියතුම පිළිරුවක් ඉදිවුනි මලින් පුදා
හිමි බණ පදය නිරිඳුන් සිහි ගෙන රන්දා
දණ බිම ඔබා බුදු හිමි, පියතුම වැන්දා


                         ---
ඩයිනමයික් (DynaMic)


http://bentotaanuratours.com/heritage%20visit/sigiriya.html